Wednesday 30 September 2009

අනුන්ගේ ඉඩමේ ගෙවල් සැදීම.

රාස්සපාන ප්‍රජාශාලා ගොඩනැගිල්ල වල් බිහි වෙලා! මේ අද ලංකාදීප පුවත් පතේ පළවූ වාර්තාවක්.  දැන ගන්නට ලැබුනු පරිදි රාස්සපාන යනු කැළණි ගං මිටියාවතේ රඹුටන්වලට ප්‍රසිද්ධ මල්වාන ප්‍රදේශයේ පිහිටි ගම්මානයකි. මෙම වාර්තාවේ කතා කළ යුතු කරුණු තුනක් තියෙනවා.

පළමු කරුණ මේ ප්‍රජා ශාලා ගොඩනැගිල්ල කීවාට මෙය තවමත් ගොඩනැගිල්ලක් නොවීමය. එම වාර්තාවේම සඳහන්වන ආකාරයට ඉදිකිරීම් ආරම්භ කොට වසර දහයක් ගත වුවද තවම මෙම ගොඩනැගිල්ල තනා නිම කොට නැත. මෙම වාර්ථාව සමග පලකොට ඇති ඡායාරූපයෙන්ද ඒ බව පැහැදිලි වේ. හිටපු අමාත්‍ය අශ්රොෆ් මැතිතුමා 1998 දී නබි නායක උත්සවය සැමරීම සඳහා මුස්ලිම් ජනතාව වෙසෙන මල්වාන ප්‍රදේශයේ මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා ලක්ෂ 45ක් බියගම ප්‍රාදේශීය සභාවට ලබා දී තිබෙනවා. මේ සම්බන්ධව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණු තවත් තොරතුරක් නම්, ගරු අශ්රොෆ් ඇමතිතුමා මුස්ලිම් සමාජය සඳහා මෙම ගොඩනැගිල්ලට මුදල් ලබා දීමේදී ඊට සමගාමීව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන දෙකක් හෝ තුනක් සඳහා ගොඩනැගිලි සාදා ගැනීමට මුදල් ලබා දී තිබෙන අතර ඒ සියළුම ගොඩනැගිලි සාදා අවසන් කර තිබෙනවා.

දෙවන කාරණය මෙම ගොඩනැගිල්ල සාදා අවසන් කිරීමට නොහැකි වීමට හේතුව ලෙස බියගම ගරු සභාපතිතුමා පවසන්නේ මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට යොදා ගත් ඉඩම ප්‍රාදේශීය සභාවට අයත් නොවීම මෙහි ඉදිකිරීම් වසර දහයක් ගත වුවත් අවසන් නොවීමට හේතු වී තිබෙනවා. එම තත්ත්වය නම් ඒ තරම් ප්‍රසන්න නොවන බවයි ප්‍රසන්න සම්පත් ගරු සභාපතිතුමනි මාගේ අදහස. ඡායාරූපයෙන් පෙනී යන ආකාරයට මෙහි සිදුකර ඇති ඉදිකිරීම් සඳහා මීට වසර දහයකට පෙරදී පවා අවම වශයෙන් ලක්ෂ විස්සක්වත් වැය වන්නට ඇති බවයි පෙනී යන්නේ. එම මුදල කොපමණ වුවත් නීතියෙන් සුදුසුකම් නොලැබූ ඉඩමක ඉදි කිරීමක් සඳහා මුදලක් වැය කිරීම වසර දහයක් තිස්සේ විගනනයට හසු නොවීනම් එය මවිතයට කරුණක්.

නීතිය කුමක් වුවත් මෙහිදී ජනතා නියෝජිතයෙකු ලෙස මා අදහස් කරන්නේ, මෙම ප්‍රජා ශාලාව ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයක් නම්, එය ඉදිකිරීමට සුදුසුම භූමිය මෙම ඉඩම නම්, ඒ ඉඩමේ අදාල ඉදි කිරීම කිරීම සඳහා අයිතිකරුවන් එකඟතාව ලබා දෙන්නේ නම්, එය ඉදි කිරීම අවසන් කළ යුතු බවයි. ප්‍රාදේශීය සභාව ඉඩම පවරාගෙන හෝ එය සිදු කළ යුතුයි.  ප්‍රාදේශීය සභාව සඳහා පවරා ගැනීම හා පවරා දීම සම්බන්ධව සඳහන් කරද්දී මාගේ මතකයට නැගෙන්නේ පසුගිය දිනක පුවත් පතක පලවූ තවත් වාර්තාවක් සම්බන්ධවයි. ප්‍රදේශවාසීන් විසින් ඉදි කර වසර හතරක් තිස්සේ නොයෙක් කාරණා සඳහා පාවිච්චි කරමින් හා හොඳින් නඩත්තු කරගෙන විත් වැඩි ප්‍රයෝජනය හා වැඩි සපලතාවය සඳහා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පවරා දුන් ප්‍රජා ශාලාවක්, පවරා දුන් දින සිට මේ දක්වා (මතක හැටියට) වසර තුනක පමණ කාලයක් කිසිම ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් සිදුවෙද්දී ප්‍රාදේශීය සභාව නිවැරදි කිරීමටත්, මග පෙන්වීමටත් සිටිනා පළාත් පාලන කොමසාරිස් කාර්යාලය ඇස්-කන් පියාගෙන සිටින්නේ ඇයිදැයි ප්‍රශ්නයකි.

කෙසේ හෝ මාගේ පෞද්ගලික අදහසනම් ජනතාවගේ අවශ්‍යතා සඳහා නිර්මාණය කරනා සියලුම දෑ ජනතාවට අයිති විය යුතු බවයි. එසේ නොවන තාක් කල් ඒවා පිළිබඳව ජනතාව තුල වැඩි කැක්කුමක් ඇති වන්නේ නැත. එසේම ඍජු ප්‍රතිලාභීන් නොවනා ප්‍රාදේශීය සභාව එහි පැවැත්ම සඳහා වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. එබැවින් ඉතා ඉක්මනින් විනාශය කරා යාම සිදු වේ. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ හා පළාත් පාලන කොමසාරිස් කාර්යාලවල සිටිනා නීතිඥයන්, නීති විශාරදයින් හා විමර්ශණ නිලධාරීන් නොයෙක් ආලවට්ටම් දමා නොයෙක් මත ප්‍රකාශ කළද ජනතා අවශ්‍යතාවය හා ජනතා හැසිරීම අනුව කටයුතු නොකරන තාක් කල් මෙවැනි ප්‍රශ්න ඇති වනවා නො අනුමානය.

නීතිය ජනතාව සඳහා නම් ජනතාව වෙනුවෙන් නීතිය වෙනස් වනවා විනා නීතියට අනුව ජනතා අවශ්‍යතා හා හැඟීම් වෙනස් කළ නොහැක.

තුන්වන කරුණ නම් ප්‍රජා ශාලා මේ තරම් රටට අවශ්‍යයද යන්නයි. වැඩි විස්තර ඇතිව තොරතුරු ඉදිරිපත් කළ හොත් මාගේ ප්‍රාදේශීය සභාව පිළිබඳව එළි වීමෙන් ආයතනයට යම් අයහපතක් සිදුවිය හැකි බැවින් වැඩි තොරතුරු ඉදිරිපත් නොකරමි. කෙසේ වුවද අවම වශයෙන් ගම්මාන 3කට එකක් බැගින්වත් ප්‍රජා ශාලා අපගේ බල ප්‍රදේශය තුල ඉදි කර තිබේ. වරින් වර බලයට පත් වන සෑම සභාපති කෙනෙක්ම උත්සාහ කරන්නනේ තමන්ගේ කාලය තුලදී හැකි තරම් ප්‍රජා ශාලා ප්‍රමාණයක් ඉදි කිරීමටත්, හැකි තරම් ආදාහනාගාර ඉදි කිරීමටත්, සෑම කුඩා නගරයකටම බැගින් පොදු වෙළඳ සැල් ඉදිකිරීමටත්ය. එයට හේතුව වෙනත් සටහනකින් සාකච්ඡා කරමු.

එහෙත් මෙසේ ඉදි කර ඇති ගොඩනැගිලි වලින් අවම ප්‍රයෝජනයවත් ගන්නේ උපරිම ලෙස 10% ටත් අඩු ප්‍රමාණයක බව වගකීමෙන් ප්‍රකාශ කරමි. ප්‍රජා ශාලාවලින් 80%ක්ම අතහැර දමා ඇත. ඉතිරි ඒවාද ප්‍රයෝජනයට ගන්නේ යලට-මහට මෙනි. පොදු වෙළඳ සැල්වලින් විවෘතව ඇත්තේ ඉදිරිපස කඩ කිහිපයක් පමණි. අනෙක් ඒවායින් බොහොමයක නැවත බදු දීම සඳහා ඇති බවට සඳහන් දැන්වීම් අලවා වසා දමා ඇත. විශේෂත්යව නම් එම දැන්වීම්වල සඳහන් වන දුරකතන අංකවලට ඇමතූ විට කතා කරන්නේ ඒවා දැන් බදු ගෙන සිටින අය වීමයි. මා දන්නා පරිදි බදුකරුවෙකුට නැවත බදු දීමට නොහැකිය. මිනිස්සු එන්නේ නැති තැන්වල කඩ කෑලි වෙන මොනවා කරන්නද?




Monday 28 September 2009

මැම්බර් ද ? මන්ත්‍රී ද ?

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකි.
මහජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා මහජන නියෝජිතයින් වර්ග 4කි.
  1. ජනාධිපති
  2. පාර්ලිමේන්තු මන්ත්‍රී
  3. පළාත් සභා මන්ත්‍රී
  4. පළාත් පාලන ආයතන නියෝජිත
ප්‍රාදේශීය සභාවල අපි නියෝජිතයෝ විනා මන්ත්‍රීවරු නොවෙමු. එහෙත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී, නිකම් නොවේ ගරු මන්ත්‍රී ලෙස හඳුන්වා ගැනීමට කැමැත්තෙමු. අපට මේ නම ස්ථිර කර දෙන ලෙස අතිගරු ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලා සිටියෙමු. ලැබුණාද නැද්ද කියා හරියටම දන්නේ නැත. ඒ කෙසේ වුවද මා නම් පෞද්ගලිකව වඩාත්ම කැමති මන්ත්‍රී කියනවාට වඩා මැම්බර් කියනවාටය.

මන්ත්‍රී කී විට ජනතාවගෙන් දුරස් වූ ගතියක් දැනේ. එහෙත් මැම්බර් එහෙම නැත. තමන්ගේ මැම්බර්ට විශාල ගෞරවයක් හා හිතවත් කමක් ජනතාව තුල තිබේ යැයි මට හැඟේ. ඒ නිසාම මම, මා තෝරා ගත් ජනතාව අමතන සෑම විටම මා ඔබගේ මැම්බර් යැයි හඳුන්වා දෙමි. ඒ තුලින්ම මට දැන් ජනතාව තුල ලොකු ගැම්මක් ඇති වී තිබෙන බව මාගේ සමීපතයින් ගේ අදහසයි.

මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝශයට අනුව member යනු (ශරීරයෙහි) අවයවය; අංශය; කොටස හා සාජිකයා වේ. ඒ අනුව member යනු යම් සංවිධානයක හෝ එකතුවක කොටසක් හැඳින්වීමට යොදන පදය ලෙස නිර්වචනය කළ හැකිය. මැම්බර් නොහොත් Member ලෙස සභිකයා හඳන්වන්නට ඇත්තේ අදාල සභාවේ සාමාජිකයෙකු යන තේරුම ඇතිව විය හැකිය.

එහෙත් මා වඩාත් කැමති, මා ප්‍රාදේශීය සභාවේ සාජිකයෙකු යන අර්ථයෙන් Member ලෙස හඳුන්වනවාට වඩා, මා නියෝජනය කරනා ප්‍රදේශයේ, ගමේ සාමාජිකයෙකු යන අර්ථයෙන් Member ලෙස හඳුන්වනවාටය.

කෙසේ වුවද ලංකාවේ ප්‍රාදේශීය සභා 270 වේම අනෙක් සියලුම නියෝජිතයින්ව ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමා ලෙස හඳුන්වද්දී අපේ මෙම්බර් මහත්තයා ලෙස මා හඳුන්වන මෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටිමි.

යටහත් පහත් වීම හා ආනාගතයේදී මෙම්බර්ලා වීම පිළිබඳව ඉදිරි සටහනක ලියමි.
සියලු දෙනාටම යහපතක් ම වේවා...!

Sunday 27 September 2009

අපේ ප්‍රාදේශීය සභාව තනිකරම තනි පුද්ගලයෙකි.

ඔබ අප කවුරුත් දන්නා පරිදි ප්‍රාදේශීය සභාවක් පමණක් නොව නගර සභා හා මහ නගර සභා ඇතුලු සියළුම පළාත් පාලන ආයතනවලට පත්වන්නේ නගරාධිපති හෝ සභාපති පමණක් නොවේ. එම ආයතනය ස්ථාපනය කරන අවස්ථාවේ දී පළාත් පාලන ඇමති විසින් නියම කරනු ලබන සභිකයින් සංඛ්‍යාවක්ද එම සභාවට අයත්ය.

එසේනම් අපේ ප්‍රාදේශීය සභාව තනිකරම තනි පුද්ගලයෙක් වන්නේ කෙසේද?

එසේ වන්නේ ද නීතියෙන් නියම කර තිබෙන නිසාය.

ප්‍රාදේශීය සභාව අවිච්ඡීන්න පැවැත්මක් ඇති, පොදු මුද්‍රාවක් ඇති තනි පුද්ගලයෙකි. ඔබ හෝ මා මෙන්ම ප්‍රාදේශීය සභාවට දේපලක් මිලදී ගැනීමට හැකිය. දේපල විකිණිය හැකිය.  තවත් ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව පොලිසි ගිය හැකිය. උසාවි ගිය හැකිය. ප්‍රාදේශීය සභාවට විරුද්ධවද ඕනෑම කෙනෙකුට පොලිසි ගිය හැකිය. නඩු පැවරිය හැකිය. ගිවිසුම්වලට එළඹිය හැකිය. ගිවිසුම් කඩ කළ නොහැකිය.

ඒ අනුව ප්‍රාදේශීය සභාව තනිකරම තනි පුද්ගලයෙකි. පනතේ සඳහන් වන්නේ මෙසේය.

(2) . (1) ....... සෑම ප්‍රාදේශීය සභාවක්ම, අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක් විය යුතු අතර, මෙම පනතේ විධි විධානයන්ට යටත්ව, දේපළ අත්කර ගැනීමට, දැරීමට සහ විකිණීමට ද ස්වකීය නාමයෙන් එය විසින් හා එයට විරුද්ධව නඩු පවරනු ලැබීමට ද එයට බලය තිබිය යුතුය.
‍‍මෙම කාරණය ඉදිරිපත් කළේ අද අපේ පළාත් පාලන අයාතනවල ප්‍රධානීන්; නගරාධිපතිතුමන්ලා සහ සභාපතිතුමන්ලා සිතන්නේ කලින්  නගරාධිපතිතුමා හෝ සභාපතිතුමා විසින් එළඹි ගිවිසුම් වලට හෝ කරපු වැඩවලට දැන් සභාව හෝ තමා වගකීමට බැඳි නොමැතිය කියාය. තිත්ත වුවත් ඇත්ත එය නොවේ. එවකට සිටි නගරාධිපතිතුමා හෝ සභාපතිතුමා පුද්ගලිකව යම් වරදක් කර ඇතිනම් එයට ඔහු පුද්ගලිකව වග කිව යුතු බව ඇත්තය. එහෙත් ආයතනය තම නාමයෙන් කළ සෑම කාර්‍යකටම වර්තමානයේ සිටින පමණක් නොව අනාගතයේ පැමිණෙන කවුරුත් මුහුණ දිය යුතුය.

යහපතක් ම වේවා!


                                                                                                  

Saturday 26 September 2009

ස්වස්ථි සිද්ධම්.....!

යහපතක් ම වේවා...!
මා පළාත් පාලන ආයතනයක ලාබාලම සාමාජිකයා බව පැවසීමට තරම් නිරවුල් සාධක මා සතුව නොමැති බැවින් ඒ විශේෂණය අත හැර දමමි. එහෙත් මා පළාත් පාලනයට ලාබාලයෙක් නොවන බව නම් හොඳින් දනිමි. මා ඉපදෙන විට දී නොමැති වූවද මාගේ පියා ද පළාත් පාලන ආයතනයක නියෝජිතයෙකි. පණ්ඩුකාභය යුගයේ සිට පර සුද්දන් විසින් අහෝසි කරන තෙක් පැවත ගෙන විත්, නැවත සුද්දන් විසින්ම ආරම්භ කොට පැවත ගෙන ආ දීර්ඝ ඉතිහාසයක් ඇති ලංකාවේ පළාත් පාලනය මහ නගර හා සුළු නගරවලට පමණක් සීමා කොට පැවති සංවර්ධන සභා යුගයේ දී ද මාගේ පියා ගමේ මැම්බර්ම විය. මාගේ පියාගේ පියා ද මහජන ඡන්දයෙන් පත් නොවූව ද මහජනයාගෙන් වචනයක් නො ඇසූ මැම්බර්ලා කිහිප දෙනා අතරින් කෙනෙක් විය. මෙලෙස පළාත් පාලනය අත මිට මොළවා ගෙන මා උපන්නේ ද ලංකාවේ පළාත් පාලනයේ සුවිශේෂී දිනක දී ය.
මීට වසරට පමණ පෙර දිනකදී අපගේ ප්‍රාදේශීය සභාවේ පැවති, පරිගණකවල සිංහල භාවිතය පිළිබඳ පුහුණු වැඩමුළුවකදී මෙම බ්ලොග් අඩවි හෙවත් අන්තර්ජාලයේ ලොග් සටහන් පොත පිළිබඳව දැන ගතිමි. එදා සිට දිගින් දිගට ම බ්ලොග් කියවීම, විශේෂයෙන් සිංහල බ්ලොග් කියවීම පුරුද්දක් කොට ගෙන සිටිය ද මගේම බ්ලොග් අඩවියක් ඇරඹීමේ හෙවත් ප්‍රසිද්ධ දින පොතක් ලිවීමේ විචිකිච්ඡාවෙන් පසු වුනෙමි. විශේෂ දෙයක් සිදු වූ සෑම දිනකම ඒ පිළිබඳව මතක සටහනක් බ්ලොග් අඩවියක ලියා තැබීම කළද, ඒ සියල්ල ප්‍රසිද්ධ වීම මා හට කෙසේ වුවත් මා නියෝජනය කරන ආයතනවලට ඇති කරන බලපෑම ගැන සිතා, ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ නමින් නොලියා මෙලෙස ලිවී‍ම වඩාත් යෝග්‍යයැයි සිතුවෙමි.
මානව පරිනාමයේ මුල්ම යුගය ගල් යුගයයි. මා නවය වසරේ ඉගෙන ගන්නා කාලයේ අපගේ ගුරුතුමියට අනුව, ඒ යුගයට ගල් යුගය යැයි කීවේ ඒ යුගයේ මිනිසා ගල් ගුහාවල ජීවත් වූ නිසාලු. එහෙත් ඒ යුගයට ගල් යුගය යැයි කීවේ ඒ යුගයේ ජීවත් වූ මිනිසුන් තම ජීවන පැවැත්ම සඳහා ගල් ආයුධ භාවිතා කළ නිසා බව පසුව දැන ගත්ත ද, මා මාගේ ගුරුතුමිය සමග උරණ නොවූයේ, ගල් යුගයේ මානවයින් ගේ වැනි හැසිරීම් තිබූ අපව ශිෂ්ඨ ලෝකයට ගෙන ඒම සඳහා එතුමිය ගත් අවංක උත්සාහය නොවන්නට අද වන විට මා ද, පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට තේරී සිටිය හැකි වුවද, අවසනාවන්ත ලෙස කාටූන් කාරයින්ගේ තෙළිතුඩේ තවත් බල්ලෙකු වීමට ඉඩ තිබූ බැවිනි.
මහානාම හාමුදුරුවෝ හෝ ධර්මකීර්ති හාමුදුරුවෝ හෝ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හාමුදුරුවෝ හෝ වෙනත් කතුවරයෙකු හෝ සංස්කාරක වරයෙකු විසින් සඳහන් කරනු ලැබ තිබූ නිසාම ලංකාවේ පළාත් පාලනය ඇරඹෙන්නේ පණ්ඩුකාභය යුගයෙන් යැයි වංශ කතා ලෝලීන් කීව ද, ඒවා උපුටා ගෙන මා ද ඉහත සඳහන් කළ ද පළාත් පලනයේ මූලික සංකල්පය ගල් යුගයේ මානව හැසිරීම් තුලම හඳුනා ගත හැකි බව මාගේ අදහසයි.
මෙම සටහන හුදෙක්ම මාගේ ස්වයං වින්දනය සඳහා ම පමණක් නොවන බැවින් ඒ සම්බන්ධව තවත් අදහස් දැක්වීම මෙය කියවීමට ලැබෙනා ඔබගේ ප්‍රතිචාර මත ඉදිරිපත් කිරීමට ඉඩ තබමි.
1987 දී සිදු කළ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුවන තෙක් නිවැරදිව තේරුම් ගන්නට හැකි වුවද, පළාත් සභා සංකල්පය බිහි වීමත් සමගම පළාත් පාලනය යනු කුමක් දැයි තේරුම් ගැනීම අපහසු විය. පළාත් පාලන ආයතනවලින් පාලනය කරන්නේ පළාත් නොවන බැවින් මේවා ප්‍රාදේශීය පාලන ආයතන ලෙස හැඳින්වීම මගින් හොඳින් තේරුම් ගැනීමට හැකි වෙතැයි මම සිතමි. මෙම පැටලවිල්ල ලිහා ගැනීම සඳහා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය හා මෙම ක්ෂේත්‍රෙය් විද්වතුන් විසින් ප්‍රාදේශීය ආණ්ඩුකරණය හා ගමේ ආණ්ඩුව යන නම් දෙක හඳුන්වා දී ඇත. රටක් පාලනය කරන්නේ රජයක් විසිනි. ඒ රජය සඳහා වරින් වර නොයෙක් අය පත්වේ. පත්වන කෙනා තෝරා ගැනීම එක් එක් පාලන ක්‍රම අනුව වෙනස් වේ. ප්‍රජාත්‍රාන්තික ක්‍රමය අනුව කලින් කලට යම් කණ්ඩායම්ක් තේරී පත්වන අතර එම කණ්ඩායමට ආණ්ඩුව යැයි කියනු ලැබේ. ඒ අනුව ආණ්ඩුව යනු රටක් පාලනය කරන කණ්ඩායමයි. මේ ආකාරයට සිතුවොත් ගමේ ආණ්ඩුව හෝ ප්‍රාදේශීය ආණ්ඩුකරණය යන්න භාවිතා කිරීමෙන් තවත් ගැටලුවක් ඇති වන්නට ඉඩ ඇත. එබැවින් ලංකාවේ පළාත් පාලනය; ග්‍රාම පාලනය හෝ ප්‍රාදේශීය පාලනය ලෙස හඳුන්වන්නේ නම් යෙහෙකි.
කෙසේ වුවද මෙම ග්‍රාම ආණ්ඩු සංකල්පය සමග තවත් විශාල වෙනස්කම් රාශීයක් සිදුවෙමින් තිබෙන බව දැන ගන්නට තිබේ. ඒ පිළිබඳ මාගේ අදහස් නැවත සටහනකින් ඉදිරිපත් කරන තුරු ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා!