Sunday 28 March 2010

ඇත්තටම අද ජීවිත් වීම අපහසුද?

පසුගිය ෆෝස්ට් එකක කමෙන්ට් එකක මෙහෙම තිබුණා.
"  අන්න 11 වැනිදා අමිල සඳරුවන්ව ඔයලගෙ ගමට එහා පැත්තෙන් ගලන ගඟට දාලා...අපිට තැගි එපා.. ඔයාට පුළුවන් නම් ඔයාලගෙ පැත්තෙ ඉන්න දුප්පත් පැල්පත්(සමහරු මෙකට කියන්නෙ මුඩුක්කු කියලා) වල ඉන්න මිනිස්සුන්ගෙ ජිවන මට්ටම වැඩි දියුනු කරන්න මොනවා හරි දෙයක් කරන්න...  "

ඒක කියවපු මටත් එක පාරටම මේ කියන්නේ ඇත්ත කියල හිතුනා. කොටින්ම මට අමතක වුනා මම දැන් ආණ්ඩුපක්ෂයේ දේශපාලඥයෙක් නේද කියල. ඉතින් මමත් ඉක්මනට මෙහෙම රිප්ලයි එකක් දැම්ම.
"...සමාවෙන්න!
මට ඔබව හොඳින් තේරෙනවා.
නැවතත් මම ඔබෙන් සමාව ඉල්ලනවා. ඒ ප්‍රාදේශීය සභාවක තනි මෙම්බර් කෙනෙක් හැටියට නෙමේ. මහජනතාවගේ අවශ්‍යතා ඔවුන් වෙනුවෙන් කරල දෙන්නම් කියල මහජනතාවගේ නියෝජිතයන් හැටියට තේරී පත් වෙලා තමන්ට ඕනෙ තැනට ගිහාම, තම පරම්පරාවේ නියෝජිත‍යෝ බවට මාරු වෙලා තම පරම්පරවේ ඕනෑ එපාකම් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කටයුතු කරන දේශපාලකයින් ඉන්නා රටේ, තමන් නියෝජනය කරන්නනේ කාවද, තමන් වැඩ කළ යුත්තේ කාටද කියල තවමත් අමතක නොකරපු, ඒත් දේශපාලකයින්ගේ 'පරම්පරා පෝෂණය' නිසා ඉතා තදින් පීඩාවට පත්වූ ඔබතුමා ඇතුළු මහජනතාව විසින් පොදුවේ එකම නමින් හඳුන්වනු ලබන නිසා දැඩි හිත් වේදනාවට පත් වෙලා ඉන්න අවංක මහජන නි‍යෝජිතයෝ කිහිප දෙනා වෙනුවෙනුයි මම ඔබෙන් සමාව ඉල්ලන්නේ. "
ඒත් මේ දවස්වල අපේ වෘත්තිය වෙලා තියෙන්නේ තුනෙන් දෙකක බලයක් සහිත අපේ ආණ්ඩුවක් පත් කර ගැනීමට උපරිම අයුරින් කටයුතු කිරීම නිසා මටත් වැඩිපුර ඇසුරු කරන්න ලැබෙන්නේ ඉහළ මට්ටමේ දේශපාඥයෝ. ඉතින් මටත් ඔය දේවල් දිහා ඒ අය බලන විදිහට බලන්න පුළුවන්කම ලැබිල තියෙනවා. ඒ අනුව බලපුවහම තමා ඇත්ත තේරෙන්නෙ.
ඇත්තටම දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න අපහසුද? ජීවන වියදම ඔය තරම් ඉහලද? සාමාන්‍ය ආදායමක් තියෙන කෙනෙක්ට කාල ඇඳල ලස්සනට ඉන්න බැරිද? කන්න දෙන්න දෙයක් නෑ කියල ළමයි ගඟට වීසි කරන්න තරම් රට අහේනියට ගිහින්ද? මේව මොන අමූලික බොරුද? රජය අපහසුතාවයට පත් කරන්න විපක්ෂය හා කුමන්ත්‍රණකාරී බලවේග ගොතන පදනම් විරහිත චෝදනා බව නොතේරෙන්නේ කාටද? 2004-2005 කාලයේ පැවති මැතිවරණයකදී නළු නිළියන් යොදාගෙන සකස්කොට ප්‍රචාරය කළ කිරිපිටි ඇඩ් එක වගේ කවුරු හරි ගැහැණියකට සෑහෙන මුදලක් දී ළමයා ගඟට විසි කරවා රජයට විරුද්ධව ජනමතයක් ගොඩ නැගීමට ගත් අසාර්ථක උත්සාහයක් බව ඉදිරියේදී අණාවරණය විය හැකිය. එහි දෙවන ජවනිකාව පසුගිය දා හෝමාගම අධිකරණයේදී රඟ දක්වා තිබූ බව දැන ගන්නට ඇත. "ජීවත් කරවීමට අපහසු දරුවන් මරා නොදමා පොලිසියට භාර දෙන්න" යනුවෙන් පත්තරවල නිවේදන හා වාර්ථා පල කිරීම මෙම ද්වේශ සහගත කුමන්ත්‍රණවල තවත් මුහුණුවරකි.
ඔය කියන තරම් රටේ ජීවන තත්ත්වය අපහසුනම් මිනිසුන් එකිනෙකා මරා නොගන්නනේ මන්ද? ආහාර සඳහා මංකොල්ල නොකන්නේ මන්ද? පාරක් පාරක් ගානේ මිනිසුන් හිඟා නොකන්නේ මන්ද? ආහාර සඳහා යමක් සොයා ඒම සඳහා පිටත් කරන්නනේ නැතිව ලොකු පාසකට දරුවා ඇතුළත් කර ගැනීම සඳහා මිනිස්සු උසාවි ගානේ බඩගාන්නේ මොකද? කන්ඩ බොන්ඩ ඔය තරම් අපහසුනම් කෑමට මොනවා හෝ සොයා වෙහෙසෙන්නේ නැතිව ළමයා පහේ ශිෂ්‍යත්ව පන්තියට යවා පැය ගනන් පන්ති ගාව රස්තියාදු වන්නේ කෙසේද? අතේ පයේ හයි හත්තිය තියෙන උන් දෑතේ කර්මාන්තයක් කරල කීයක් හරි හොයාගෙන අසරන දෙමාපියන්ට කන්න ටිකක් හොයල දෙන්නේ නැතුව විශ්ව විද්‍යාලවල රස්තියාදු ගහන්නේ මොකද? ජීවන වියදම ඔය තරම් ඉහලනම් උදේ ඇහැරුණු මොහොතේ සිට නින්දට යන තුරු කෝල් කරන්නයි එස් එම් එස් යවන්නයි සල්ලි කොහෙන්ද? අඩුම ගානේ දවසට දෙපාරක්වත් ඔළුවේ ගාන්න ජෙල් ගන්න සල්ලි කොහෙන්ද? ගෑණු දරුවන්ට විතරක් අරන් දුන්න කරාබු පිරිමි ළමයින්ටත් අරන් දෙන්න අම්මලට සල්ලි කොහෙන්ද? අඩි දහයක් පයින් යන්නෙ නැතිව ත්‍රී වීල්වල යන්න සල්ලි කොහෙන්ද? නිකන් පෙන්නන ටීවී මදි වෙලා ඉන්දියාවේ අයිපීඑල් බලන්න සැටලයිට් ටීවී වලට ගෙවන්න සල්ලි කොහෙන්ද? රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කාරයන්ට මේව හංඟන්න අතපසු වෙලා වගේ.


නාමල් බේබි වගේ තමන් ප්‍රිය කරන ඡන්ද අපේක්ෂකයිනගේ විශාල රුව සහිත ස්ටිකර් මිලදී අරගෙන තමන්ගේ ත්‍රීවීල් එක සම්පූර්ණයෙන් වැහෙන්න අලවන්න ත්‍රීවීල් අයියලාට සල්ලි තියෙනවානම් තමන්ගේ ලමයාට කන්න ටිකක් දෙන්න බැරි මොකද? අනික් අතට ජීවන වියදම ඔච්චර වැඩිනම් කිසිම අමාත්‍යංශයක් හෝ කිසිම රාජ්‍ය ආයතනයක නිලතලයක් නැතිව මන්ත්‍රී වැටුපෙන් පමණක් දරු පවුලක් නඩත්තු කර ඉතිරි කර ගත් මුදලින් මුළු දිස්ත්‍රික්කයම වැහෙන්න පෝස්ටර් කටවුට් ගහන්න විමල්ට පුළුවන් වුනේ කොහොමද? තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ ටියුෂන් පන්ති රට ජාතිය වෙනුවෙන් කැප කළ බන්දුල ඇමතිතුමා දවස ගානේ පත්තර පිටු පිරෙන්න දැන්වීම් දානේ කොහොමද? 

සතියකට දෙතුන් දෙනා ‍බැගින් කෝටිපතියන් බිහිවන රටේ ස්විප් විකුණණ කෙනෙක් තමන්ගේ වාසනාව උරගා බලන්න අඩුම ගානේ එක ස්විප් ටිකට් එකක්වත් ඉතිරි කර ගන්නවානම් ගෑනිට ළමයා ගඟට විසි කරන්න වෙන එකක් නැත.

ඇත්තටම ජීවන වියදම කියන්නේ මොකක්ද කියා දැන ගැනීමට සියළු දෙනා වරින් වර ඇමෙරිකාව ඉතාලිය ජපානය වගේ රටවල් වල සංචාරය කර පැමිණියොත් හොඳය. එතෙක් ඔය රාජ්‍ය විරෝධි කුමන්ත්‍රනවල හවුල් කාරයන් නොවී අද රටේ ඇති දැවෙන ප්‍රශ්ණය වන මනාප ක්‍රමයට තිත තැබීම සඳහා තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බුද්ධිමත් තීරණයක් ගෙන 8 වෙනිදා උදේම අපට ඡන්දය ලබා දෙන ලෙසත්, උගත් බුද්ධිමත්, තැම්පත්, විනය ගරුක, ආචාරශීලී, තරුණ, පරිනත, අත්දැකීම් බහුල, හොඳ පුවල් පසුබිමක් ඇති, කීර්තිමත්, කෘතහස්ත, පළපුරුදු, ඔබේ කොට්ඨාශය නියෝජනය කරන, පක්ෂය පාව නොදුන්, පරිසර හිතකාමී ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වූ, මැතිවරණ කටයුතු සඳහා මත්පැන් භාවිතා නොකළ, මනාප සඳහා එකිනෙකා ඇන කොටා නොගත්, රට ආගම ජාතිය පක්ෂය තමන්ගේ කම වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කළ, තම පාසල වෙනුවෙන් කටයුතු කිරීමට ආදිශිෂ්‍ය සංගමයට උදව් උපකාර කළ, ජන දුක හඳුනන, ගැමි සුවඳ හඳුනන, වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිද ගිය, රටට ජත්‍යන්තර කීර්තියක් ගෙන ඒමට කටයුතු කළ, ජනකාන්ත, අපේක්ෂකයින් තුන් දෙනෙකුට ඔබගේ මනාපය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. එහිදී කණ්ඩායම් නායකයාට එක් මනාපයක් ලබා දී වාර්තාගත වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට දායක වන ලෙසත්, ඔබ දිස්ත්‍රික් ලැයිස්තුවේ සිටින අනෙක් ජනප්‍රියම අපේක්ෂකයින් දෙදෙනාටත් මනාපය බැගින් ලබා දීමටත් අමතක කරන්න එපා.





Friday 19 March 2010

ඇමති මණ්ඩලය තෝරා තෑගි දිනා ගන්න!

මෙන්න සිංහල බ්ලොග් කියවන අයට සහභාගි විය හැකි තරඟයක්. නෑ තරඟ දෙකක් තියෙනවා.

ලබන මාසේ පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව පත් කරන කැබිනට් මණ්ඩලය 35 ට සීමා කරනවා කියල තියෙනවා. විමල් වීරවංශ මැතිතුමාත් කියන නිසා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ දවස්වල ජනාධිපති ලේකම් තුමා තවත් දෙන්නෙක් එක්ක ඇමති තනතුරු 35ට ගොනු කරනවා කියලයි ආරංචි. ඒවා හරියටම මොනවද කියල කියන් බැරි වුනත් සාමාන්‍යයෙන් තිබිය හැකි මේවයි කියල හිතා ගන්න පුළුවන්නෙ. ඉතින් ඔබට කරන්න තියෙන්නේ ඇමති තනතුරයි ඒ ඇමති තනතුරට පත්වීමට ඉඩ තියෙන ඇමති තුමා කවුද කියලයි නම් කරන එක. කැමති ඇමති තනතුරු ගනනකට නම් යෝජනා කරන්න පුළුවන් ( ආ... උපරිම 35යි. නැත්නම් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ලෙස තේරුම් ගනීවි). වැඩිම ඇමති තනතුරු ගනනක් නිවැරදිව සඳහන් කරන්නා ජයග්‍රාහකයා වෙනවා. කීප වරක් යෝජනා ඉදිරිපත් කරන්නත් පුළුවන්. යෝජනා වෙනස් කරන්නත් පුළුවන්. අවසන් යෝජනාව පමණක් පිළිගන්නා නිසා කලින් කළ ‍යෝජනාවන් සමගම අළුත් නම් එකතු කරන්න. සමාන පිළිතුරු තිබුනොත් මොකද කරන්නේ. හරි මෙහෙම කරමු. ඇමතිවරුන්ට අමතරව නියෝජ්‍ය ඇමතිවරුන්වත් නම් කරන්න. සමාන ඇමතිවරු ප්‍රමාණයක් නිවැරදිව නම් කරල තිබෙන අයගෙන් වැඩිම නියෝජ්‍ය ඇමතිවරු සංඛ්‍යාවක් නිවැරදිව නම් කරල තියෙන කෙනාව තෝර ගනිමු. ඒකත් සමාන උනොත් මොකද කරන්නෙ. කලානයකවත් නම් කරන්න. සමාන පිළිතුරු දීල තියෙන අයගෙන් නිවැරදිව කතානායකතුමා නම් කළ කෙනා දිනුම්. ඒකත් සමාන උනොත් සියළු දෙනාටම තෑගි දෙන්නම්!.

පළමු තරඟය ඒක. දෙවෙනි තරඟය, මාගේ අනන්‍යතාවය හෙළි නොවී තරඟයේ ජයග්‍රාහකයාට දිය යුතු සුදුසුම තෑග්ග නම් කිරීම හා එය ලබා දෙන්න සුදුසුම ආකාරය නම් කිරීම. (මම අවංකවම තෑග්ගක් දෙන්න සූදානම්; එත් මට තවම හිතා ගන්න බැරි උනා කොහොමද තෑග්ගක් දෙන්නෙ මාව හෙළි නොවී කියල.) මෙම තරඟය සඳහා තෑග්ග තීරණය කරන්නේ පළමු තරඟයේ තෑග්ගේ මිල අනුව. මට දරා ගන්න පුළුවන් වෙන්නත් එපෑ.

හරි. වැඩේ ස්ථිරයි. අප්‍රියෙල් 8 රාත්‍රී 12ට තරඟය අවසන් වෙනවා. (ඊට පසුව ඇමති මණ්ඩලය පත් කරන තුරු කැමතිනම් නම් කිරීම් කරන්න පුළුවන්. ඒත් තරඟයට ඇතුළත් කර ගන්නේ නෑ.) අවසන් තීරණය මෙම්බර්.කොම් සතුයි. ඔබලාගේ ප්‍රතිචාර කමෙන්ට් ලෙස දක්වන්න. වරින් වර ඒවා පෝස්ට් ලෙස ප්‍රකාශයට පත් කරන්නම්. අවසානයේ සියළුම යෝජනා එක් පෝස්ට් එකක දාන්නම්.










Sunday 28 February 2010

'හොඳම පාර්ලිමේන්තුව හා හොඳම කැබිනට් එක' ෆෝස්ට් එකට හොඳම කමෙන්ට් එක!

මාගේ පූර්ව ෆෝස්ට් එක පලවී දින කිහිපයකට පසුව ඒකට දිග කමෙන්ට් එකක් දාල තිබුණා. එහි අන්තර්ගතය මට හානිකර වුවත් ඉතා සංවේදී දෙයක් එහි තිබෙනවා. ඒ දෙය මම පිළිගත්තත් නොගත්තත් එය ලියූ 'නිර්ණාමිකයාට' කිසියම් අසාධාරනයක් වී ඇති බව මට පෙනී ගියා ඊට පසු කිසිම කෙනෙක් එයට ප්‍රතිචාර දක්වා නොමැති කමෙන්. ඉතින් සම්ප්‍රදායික දේශපාලඥයෙක්ට එහා ගිය තීරණයක් ගනිමින් එම කමෙන්ට් එක අළුත් ෆෝසට් එකක දාන්න තීරණය කළා. මම මෙය කියවන ඔපෙන් ඉල්ලන්නේ මේ කියන දේට ඔබ එකඟද නැද්ද යන්න වත් කියන්න.මෙන්න කමෙන්ට් එක.

Anonymous said...
හිතවත් මෙම්බර් මහත්තයෝ, ඔබතුමාට දැන් අවබෝධ වී ඇති දේ මේ රටේ ජනතාවට ඊට පෙර (අඩු වැඩි වශයෙන්) අවබෝධ වී තිබුණා විය යුතුයි. කොහොම හරි ඔබතුමා කියනවා වගේ සිද්ධවෙන්නේ ඔබතුමන්ලා හරියැයි සිතන දේ තමා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන්ලා 225 දෙනා ලෙස තේරීපත්වෙන අයගෙන් ඔබතුමන්ලා නොදන්නේ විරුද්ධ පක්ෂවලට හිමිවන ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනාගේ නම් පමණයි. ඒ තරම් 'වාසනාවන්ත ආණ්ඩුවක්' තමා පත්වීමට නියමිත. අනිත් කාරණය ගරු මැම්බර්තුමනි, බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී ඇති මනාප පොරයටත් ඉතා සාර්ථක විසඳුමක් ඔබතුමන්ලාගේ නව මැතිවරණ ක්‍රමය මගින් ලබා දී තිබෙනවා. ඒ බව තවමත් තේරුම් නොගත් කිහිපදෙනෙක් (ඒ අයට කියන්නයෑ මොකක්ද වෙන්නේ කියල-තේරුම් ගන්නකම් ඔහෙ නටපුවාවේ) මනාප වෙනුවෙන් ලොකු අරගලයක් දියත් කරල තිබුණත් (සංවර්ධන සභා සඳහා පැවති) පළමු සමානුපාතික ඡන්දයේදී වගේ කණ්ඩායමෙන් තෝරා ගන්නේ කවුද කියල නායකයා තීරණය කිරීම මනාප ගැටුමට විසඳුමක්! ඒ සේරම පැත්තකින් තියමු. මැම්බර් මහත්තයෝ තව එක දෙයක් කියන්න තියෙනවා. මමත් රාජ්‍ය සේවකයෙක්. හැබැයි ඔබතුමා වගේ ආණ්ඩුවේ සේවකයෙක් නෙමේ. ඉතින් රාජ්‍ය සේවකයෝ හැටියට අපි මැතිවරණයක් වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. අපි කරන කාර්යය හා එහිදී අපි ගන්නා වගකීම හා අවදානම ඉතා විශාලයි. අපේ රාජකාරී ජීවිතයේදී අප ඒ තරම් අවදානමකට මුහුණ පාන අවස්ථා නැති තරම්. ඒ වුනත් අපි ඒ අවදානම හා වගකීම ගන්නේ රටේ සීමිත පිරිසකට හිමිවන වැදගත් අවස්ථාවක් සේ සලකා බොහොම ලොකු අභිමානයකින්. මැතිවරණයට පෙර පැවැත්වෙන පුහුණු කිරීමේ සැසි (ඡන්ද පන්ති) වලදී උසස් මැතිවරණ නිලධාරීන්ගේ දේශණවලට සවන් දෙනකොට අපි තවත් උද්දීපනය වෙනවා. අපිට පැවරිලා තියෙන්නේ කොච්චර ලොකු වගකීමක්ද කියල හිතල ඉත සිතින් පේ වෙලා තමා ඒ රාජකාරියට යන්නේ. අපට ඇතිවන්නේ මැතිවරණයේදී අපිට ඉහලින් සිටින්නේ 'මැතිවරණ නීතිය' හා 'යුත්තිය' පමණයි කියන හැඟීම. අපි මැතිවරණය පුරා කටයුතු කරන්නේ ඒ ගාම්භීර හැගීමෙන්. ඒ නිසයි අපේම ඇමතිතුමා ආවත් අපි නීතිය හරියටම ක්‍රියාත්මක කරන්නේ. ඡන්දයට පෙර දිනයේ උදෙන්ම ගිහින් ඡන්ද පෙට්ටිය හා ඡන්ද පත්‍රිකා ටික භාර ගත් මොහොතේ සිට ඡන්දය අවසන් වී ඒ සියල්ල ආපසු භාර දෙන මොහොත දක්වා අපි කටයුතු කරන්නනේ ජීවිතය දෙවෙනි කොට සලකමින්. රාත්‍රියක් ගත කිරීමට අවශ්‍ය අවම අවශ්‍යතා කිහිපයකින් පමණක් සැනසී, නොදන්නා ප්‍රදේශයක, නොහඳුනන නිලධාරීන් පිරිසක් සමග රැයක් එළි කරන්නේ ලොකු චකිතයකින්. ඡන්දය විමසන දිනයේ උදේ 5ට පමන ඇරඹෙන විවේකයක් නොමැති රාජකාරී සම්භාරය එක දිගට පැය 12ක් පමණ යන්ත්‍රයක් වගේ ඉටු කරනවා. එහිදී අත්විඳීමට සිදුවන විවිධ අවස්ථාවන් ඉතාමත් සංකීර්ණයි. සමහර සිද්ධීන් හරිම සංවේදීයි. ගමේ ග්‍රාමනිලධාරියාගේ වැරදි හා අතපසුවීම් වලට පවා බැනුම් අසන්නේ අපි. ඡන්දහිමි නාම ලේඛනයේ නම නොතිබීම වැනි අවස්ථාවලදී බොහෝ මිනිසුන් ඉතා ආවේගශීලී ලෙස හැසිරෙනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනා මොනම පක්ෂයකට හෝ තදින් ඇලුම්කරන්නන් නොවන බව හා පක්ෂ සමග දැඩි සම්බන්ධයක් නොමැති අය බව එතන සිටින නියෝජිතයින්ගේ හැසිරීම්වලින් හොදින් නිරීක්ෂණය කළ හැකියි. ඔවුන් එන්නේ තමන්‍ ගේ අයිතියක් වෙනුවෙන්. එය අහිමි වී ඇතිබව දකින විටදී ඔවුන් අවේගශීලී වීම ස්වාභාවිකයි. එහෙත් එවැනි කෙනෙකුට කිසිම සහනයක් දීමට අපි නොපෙළඹෙන්නේ බැරිවෙලාවත් ඔහු කරන්නේ වංචාවක් නම් අපි ඉතා පාරිශුද්ධව දැඩි වගකීමකින් එකතු කරගන්නා ලාංකීය ජනතාවගේ පාරිශුද්ධ වරණය බිඳකින් හෝ අපිරිසිදු වීමට ඉඩ නොදෙමි කියන අවංක හැඟීමෙන්. ගරු මැම්බර්තුමනි, අපි පමණක් නොවේ, තමන්ගේ ඡන්දය 'රටට දැනෙන තීරණයක්' යැයි විශ්වාස කරනා අවංක මිනිසුන් කී දෙනෙක් නම් තමන්ගේ අතින් වියදම් කරමින් ඉතා දුරබැහර සිට තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයට එන්නේ කොතරම් විශ්වාසයෙන්ද? ඒත්... අපි ඒ තරම් කැපවීමෙන් එකතු කරනා ශ්‍රී ලාංකීය මහජනතාවගේ අති පාරිශුද්ධ මනාපය, පසුදා අළුයම ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයේ එළියට විත් හෙලූ කෙල බිඳක් සේ ඉවතට විසි වේනම්, අපි මේතරම් නහින්නේ ඇයි. ඔබතුමාගේ මීට ප්‍රථම බ්ලොග් ෆෝස්ට් එකක ජන්දය වෙනුවෙන් ඔය තරම් මහන්සි වුනේ අපරාදේ බව ඔබට නොකියා කියවී තිබුනා මතකයි. ඒ කෙසේ වුවත් මැතිවරණ කාර්යාලයේ උසස් නිලධාරීන්ට අපේ හිසෙහි තැබීමට අපිම දෙන්නේ වේලුනු කොස් කොල වලින් සෑදූ ඔටුන්නක් විනා රාජ්‍ය නිලධාරියෙක් ලෙස අපට පමණක් හිමි වන විශාල අභිමානයක් නොවන බව දැනෙන විට ...ගරු මැම්බර් උතුමානෙනි, කන්පෙති රත් වී යන් ලැජ්ජාවකුත් සමග පුදුමාකාර ආත්ම අවමානයක් හිතට දැනෙනවා. අවංකවම කියන්න ඔබතුමන්ලා තවත් මුඛයකින් අපට සිනා වෙනවා නේද?

Friday 26 February 2010

හොඳම පාර්ලිමේන්තුව හා හොඳම කැබිනට් එක.

ලංකා ඉතිහාසයේ හා ශ්‍රී ලංකා ඉතිහාසයේ හොඳම පාර්ලිමේන්තුව පත්වීමේ හා හොඳම කැබිනට් මණ්ඩලය පත්කර ගැනීමේ අමරණිය අවස්ථාව දැන් උදා වී තිබේ. එම වාසනාවන්ත ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරී මහජන නියෝජිතයෙක් වශයෙන් මා සතුටට පත් වනවා සේම ඒ රටේ වැසියන් ලෙස සතුටු වීමේ වාසනාව ඔබටත් උදා වී තිබේ.

පළාත් සභා ඡන්දවලින් පටන් ගෙන ජනාධිපතිවරණය දක්වා පැවැත්වූ සෑම වරණයකදීම විශ්මයජනක ජයග්‍රහණ ලබා ගනිමින් ඉතාමත් සුදුසු අපේක්ෂකයන් ඉතා ඉහල මනාප ලබා ගනිමින් හා ජනාධිපතිතුමා ඉතා ඉහල වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් දැන් පැමිණ සිටින්නේ අප විසින් ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉතාමත් සුදුසු කණ්ඩායම 2/3 ක බහුතර බලයක් ලැබෙන පරිදි හා 5/6 දක්වා වර්ධනය කරගත හැකිවන පරිදි, ඒ ඒ චරිතයට ගැලපෙන් ආකාරයෙන් විශාල මනාප ප්‍රමාණයන් ලබා ගනිමින් අපේ සිහින සැබෑ කරන ආණ්ඩුව නිවැරදිව පත්කර ගැනීමේ අවස්ථාවයි.

දිස්ත්‍රික්කයෙන් පක්ෂයට ලැබෙනා ඡන්ද වලින් මේ දක්වා ලංකාවේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රතිශතය මෙවර අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාට හිමිවීම, කැබිනට් මණ්ඩලයට පත්කරගත් යුතු සියළු දෙනා තම තම දිස්ත්‍රික්කවල මුලට පැමිණීම, ජනාධිපතිතුමාගේ කකුලෙන් අදිමින් හා එතුමා යන ගමනට බාධාවක් වෙමින් කටයුතු කළ කිහිපදෙනාට ප්‍රමාණවත් මනාප ප්‍රමාණයක් නොලැබීම, කට පහලට හරවාගෙන තිබූ ලාංඡනයට කිසිවක් එකතු නොවුණු නිසා මොනවා හෝ එකතු කර ගැනීමට කට උඩට හරවා ලාංඡනය වෙනස් කළ අයට (අපේ මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිතුමා කීවා වගේ පාර්ලිමේන්තු කෑම අජීරණය වීම වැනි අපහසුතාවයන්ට පත්නොවී) කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා පුර්ණ කාලීනව කැපවීමට හැකිවන පරිදි කිසිම කෙනෙක් තේරී පත් නොවීම, ලංකාවේ නාකිම පක්ෂයේ නාකි නායකයා, ශ්‍රී ලංකාවේ ලාබාලම පක්ෂයේ තරුණ නායකයාට වඩා අඩු මනාප ප්‍රමාණයක් ලබා ගැනීම, ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සඳහා එතුමගේ බෙල්ලේ එල්ලෙමින් පපුවේ ස්පර්ෂ වූ, එතුමාගේ හිත දිනාගත් රට රකිනා 'ආයුධ කට්ටලයට' ඉහල තැනක් කැත නැතිව දීමට තරම් ප්‍රමානවත් මනාප ප්‍රමානයක් ලැබීම ආදිය සිදු වීම, අපේ ජනාධිපතිතුමාගේ අනාගත සැලසුම් ඒ ආරයෙන්ම ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය ඇතිකර ගැනීම සඳහා අවශ්‍යවන අවශ්‍යවන වේලාවට තමන් ළඟට ගත හැකි අය පමණක් විපක්ෂයෙන් තේරී පත්වීම ආදී කාරණා 'පිඟානේ බත්' වගේ ෂුවර්ය.

පළාත් සභා ඡන්දවලදී හා විශේෂයෙන් ජනාධිපතිවරණයේදී අපි ගැන පුද්ගලිකව තිබූ ඇස්තමේන්තුව ගැන පමණක් සිතා වූ වෙහෙස මේ වාරයේදී විය යුතු නැති බව දැන් අප කාටත් පැහැදිලිය. එබැවින් මේ දවස්වල අපේ කට්ටිය කරන්න‍නේ හේත්තු වීම සඳහා විශ්වාස අතු හොයන එකය.


Friday 19 February 2010

පුද්ගලිකයි....!

මතකද මගේ පුද්ගලික කාරණයකදී ඔබලා මට උදව් කළා.
ඒ වෙලාවේදී කවුරුත් කීවේ සීයට ඕනෙ කුදයක් ගහගන්න කියල කෙල්ලව ගෙදර ගෙනෙන්න කියලනෙ. මමත් හිතා ගත්තේ ඒක තමා හොඳ කියල. ඒත් වැඩේ සිද්දවෙන්නේ වෙන පැත්තකට.
 මේකනෙ වුණේ. මම යාළුවෙලා ඉන්නේ අපේ නෑයෙක් එක්ක. එයාට අපේම තවත් නෑයෙක්ගෙන් බොහොම කරදර වුණා. අපේ සීයා කෙනෙක් මගේ ඉටුදෙවියෝ වගේ ඇවිත්ලා එයාම බේර ගත්ත. පස්සෙ සීයා එයාට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තා. ඒත් එයා සීයට කැමති නෑ කියල හිතුව නිසා මම තීරණය කළා එයාව කසාද බැඳල ගෙදර ගේනවා කියල කවුරු විරුද්ධ වුණත්. මමත් ඉතින් මගේ අනිත් වැඩ ඔක්කොම දෙවෙනි තැනට තියල මේ මගුලට ලේස්ති වුණා.
අනේ අන්තිමට බලනකොට මේ ගෑනිත් කැමති සීයටමනෙ. කළගුණ සලකන එක අපේ වැදගත් සිරිතක්ලු. ඒ නිසා සීය කියන දේකට කැමති වෙන එක එයාගේ යුතුකමලු. මමත් ඥාතිද්‍රෝහියෙක් නොවී සීයට උදව් කරන එකලු කරන්න ඕනෙ. ඒ මදිවට දැන් මගේ වැරදි ගමකට. රස්සාවක් නැතිලු. දේශපාලනය කරන උන් විස්වාස නැතිලු. මම එයාටත් වංචා කළාලු.
අනේ ඉතින් මටත් මොකෝ. ඔයා සීයත් එක්ක ඕනෙ කුදයක් ගහ ගන්න. ඇත්තනෙ! කළගුණ සැලකීම උතුම් මිනිස් ගුණාංගයක්නේ. අනික අපේ ජාතියත් කළගුණ සලකපු හැටි මතකනෙ; ඉතිහාසගත වෙන්න.

Saturday 6 February 2010

රෝහලට මෝචරියක් මොකටද? - මම කියන දේ දැන්වත් තේරුම් ගනිල්ලා.

අපේ ආණ්ඩුවට විශාල හිසරදයක්ව පැවති ඩෙංගු රෝගය ජනාධිපතිවරණ සමයේදී බොහෝ දුරට යහපත් තත්වයක පැවති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි. එසේම දැන් නැවතත් ඩෙංගු මරණ 'සිදු වීම' ආරම්භ වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෙසේ වන්නේ ඇයිද කියා තේරුම් ගැනීමට අප උත්සාහ කළ යුතුය. (උත්සාහ කොට අපහසු වුණොත් මට කියන්න; මම උදව් කරන්නම්!). ඒසේම අපේ ජනතාව තේරුම් ගත යුතු තවත් දෙයක් තිබේ. එනම් රෝහලක් යනු එයට ඇතුළත් කරන සියලු දෙනාම පන පිටින් ආපසු ගෙදර යැවීමට බැඳී සිටින ස්ථානයක් නොවන බවයි. රෝහලකට මෝචරියක් තිබෙන්නේ ඒ නිසාය. මහජනතාව එයද තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. (උත්සාහ කොට අපහසු වුණත් මටනම් කියන්න එපා; කෙලින්ම අපේ ඇමතිතුමාගෙන්ම අහන්න!).  අවසාන වශයෙන් මහජනතාව තේරුම්ගත යුතු දෙය මා මීට ප්‍රථම සටහනේ පැහැදිලි කළෙමි. "කාළිංඟ මාග හා යුරෝපීය ජාතීන් විසින් සැලසුම් සහගත ලෙස සිංහල අපගේ ජාන විකෘති කළ ද, වසර 2500ක ලිඛිත ඉතිහාසයටත් ඈතට දිවෙන වසර 7000 ක් පමණ කාලයක සිට පැවත එන රාජපාක්ෂිකත්වය වැනි උතුම් ගතිගුණ අපගේ ජානවල තවමත් ඉතිරිව පවතී." තමන් වසර දහස් ගනනක් තිස්සේ පැවත එන නියම ලාංකිකයන්ද නො එසේනම් කාළිංඟ මාඝ යුගයේ දී හෝ සුද්දාගේ කාලයේ දී අවජාතකව උපන්නෙක් ද කියා තමන්ම තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. (උත්සාහ කොට අපහසු වුණොත් ජැක්සන් ඇන්තනි මහත්තයාගෙන් අසා දැන ගන්න; මට වඩා හොඳට පැහැදිලි කර දෙයි!).

Friday 29 January 2010

විශ්මයජනක ජයග්‍රහණයක්....!

නොයෙක් ආලවට්ටම් අටුවා ටිප්පනි දමා ලිව්වත්, කෙලින්ම කිව්වත් සිදු වී ඇත්තේ එක දෙයකි. එනම් මේ තුන් ලෝකයේ කිහිප දෙනෙකු පමණක් දැනසිට, අපේ ජනාධිපතිතුමාත් මාත් ඇතුළු අතිමහත් බහුතරයක්  පාක්ෂිකයිනුත්,  මහජනතාවත් බලාපොරොත්තු නොවූ විශ්මයජනක ජයග්‍රහණයක් හිමිව ඇත. ර‍ටේ ජනතාව මේතරම් ප්‍රමාණයක් අපට ඡන්දය දෙන බවට විශ්වාසයක් තිබුණානම් අප කිසිකෙනෙකුට මේතරම් 'මැරෙන්නට' අවශ්‍ය නැත. ජනාධිපතිතුමා දිනවීමට වැඩ කළ කවුරුත් ඒ තරම් වෙහෙසුනේ මෙය ආරම්භයේ සිටම අපට 'ගල උඩ සටනක්' සේ පෙනුන බැවිනි. කෙසේ හෝ අවසානයේ අප ලබා තිබෙන්නේ ඉතාමත් විශ්මයජනක ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණයත් සමග අපට උගත හැකි දේ බොහෝය.

ඒවා කිහිපයක් මෙසේය.
  • මහජන මතය ගලනා ගඟක් වැනිය.
  • ආරම්භයේ පිරිසිදුය. ඉතා පටුය. වේගය වැඩිය. හඬ වැඩිය.
  • ගඟට තවත් දේ එක්වන්නා සේ මහජන මතයටද තවත් දේ එක්වේ.
  • ටිකක් දුර ගලද්දී ගඟ අපිරිසිදු වන්නා සේ මහජන මතයද ටිකෙන් ටික දූෂණය වේ.
  • අවසානය වෙද්දී අපිරිසිදු වේ. පුළුල් වේ. වේගය අඩු වේ. හඬ නැතිවේ. 
  • ගඟ හරස් කර වේල්ලක් බැඳ වෙනස් දිසාවකට ගෙන යා හැකිවන්නා සේ මහජන මතයද ඕනෑම දිසාවකට හැරවිය හැකිය. 
  • ගඟ හරස් කොට විදුලි බලය නිපදවන්නා සේ මහජන මතය හරස් කොට නොයෙක් බලයන් උත්පාදනය කර ගත හැකිය.
  • ඒ බලය ඕනෑම දෙයකට යොදා ගත හැකිය.
ඒ එක් පැත්තකි. තවත් දේ අපට උගත හැකිය.
  • මේ ලෝකයේ කරන්නට බැරි දෙයක් නොමැත.
  • 'මහජන නියෝජිතයා' යනු සංකල්පයක් නොව වෘත්තියකි.
  • 'හොඳ' තීරණය කරන්නේ බහුතර නොව බලය ඇති අයය.
  • කළ යුත්තේ බලයට එරෙහිව යාම නොව බලයෙන් වැඩක් ගැනීමය.
  • 'අගයන්' (Values) තම සංස්කෘතියට අනන්‍යවූ දේවල් විය යුතුය. (උදාහරණයක් ලෙස, සෝමාලියානු සංස්කෘතියට අනුව යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට නම් කාන්තාව තම ජනේන්ද්‍රයේ භගමනිය කපා ඉවත් කරවා ගත යුතුය. ඒ සෝමාලියානු සංස්කෘතියේ 'අගයයන්'ය. -වාරිස් ඩයරිගේ Desert Flower)
  • 'වගවීම', 'යහපාලනය', 'ප්‍රජාතන්ත්‍රවාදය', 'විනිවිදභාවය', 'සමානාත්මතාවය', 'භාෂණ නිදහස', 'තොරතුරු දැනගැනීමේ අයිතිය', 'නීතීන්ට යටත් බව', 'ප්‍රකාශිත නීතීන් යටතේ පමණක් පාලනය විය යුතු බව' ආදී වූ, බාහිර සංස්කෘතීන්ගෙන් වැළඳ ගෙන හිස් මුදුනින් වන්දනාමාන කරනා 'අගයන්' (Values) සිංහල සංස්කෘතික ලක්ෂණ නොවන බව වටහා ගත යුතුය.
  • කාළිංඟ මාග හා යුරෝපීය ජාතීන් විසින් සැලසුම් සහගත ලෙස සිංහල අපගේ ජාන විකෘති කළ ද, වසර 2500ක ලිඛිත ඉතිහාසයටත් ඈතට දිවෙන වසර 7000 ක් පමණ කාලයක සිට පැවත එන රාජපාක්ෂිකත්වය වැනි උතුම් ගතිගුණ අපගේ ජානවල තවමත් ඉතිරිව පවතී.
 අංකුර දේශපාලඥ්ඥයන් ලෙස ලාබාල අපට උගත හැකි දේ.
  • ****** ***** ***** බව.
  • ****** ******** ******* බව.
  • ****** ******* ******* ********** බව.
  • පවත්නා තත්වය හරියට අවබෝධ කර නොගෙන කටයුතු කළොත් විශ්මයජනය අවසානයක් දැකිය හැකි බව.
  • යන්නේ කොහෙද ඇසූ විට මල්ලේ පොල් කියනවාටත් වඩා පොල්ලලේ මල් කීම වඩාත් ආරක්ෂිත බව.
  • ඕනෑවට වඩා වැඩි පණ්ඩිතකම්වලට නොගොස් පක්ෂ සාමාජිකත්වයත්, මෙම්බර්කමත්, ජීවිතයත් බේරාගෙන සුදුසු තැනක් හා අවස්ථාවක් බලා ගඟ හරහා වේල්ලක් බැඳ බලයක් උත්පාදය කොට ගෙන අවශ්‍ය වැඩක් කරගත යුතු බව.