Wednesday 30 September 2009

අනුන්ගේ ඉඩමේ ගෙවල් සැදීම.

රාස්සපාන ප්‍රජාශාලා ගොඩනැගිල්ල වල් බිහි වෙලා! මේ අද ලංකාදීප පුවත් පතේ පළවූ වාර්තාවක්.  දැන ගන්නට ලැබුනු පරිදි රාස්සපාන යනු කැළණි ගං මිටියාවතේ රඹුටන්වලට ප්‍රසිද්ධ මල්වාන ප්‍රදේශයේ පිහිටි ගම්මානයකි. මෙම වාර්තාවේ කතා කළ යුතු කරුණු තුනක් තියෙනවා.

පළමු කරුණ මේ ප්‍රජා ශාලා ගොඩනැගිල්ල කීවාට මෙය තවමත් ගොඩනැගිල්ලක් නොවීමය. එම වාර්තාවේම සඳහන්වන ආකාරයට ඉදිකිරීම් ආරම්භ කොට වසර දහයක් ගත වුවද තවම මෙම ගොඩනැගිල්ල තනා නිම කොට නැත. මෙම වාර්ථාව සමග පලකොට ඇති ඡායාරූපයෙන්ද ඒ බව පැහැදිලි වේ. හිටපු අමාත්‍ය අශ්රොෆ් මැතිතුමා 1998 දී නබි නායක උත්සවය සැමරීම සඳහා මුස්ලිම් ජනතාව වෙසෙන මල්වාන ප්‍රදේශයේ මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා ලක්ෂ 45ක් බියගම ප්‍රාදේශීය සභාවට ලබා දී තිබෙනවා. මේ සම්බන්ධව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණු තවත් තොරතුරක් නම්, ගරු අශ්රොෆ් ඇමතිතුමා මුස්ලිම් සමාජය සඳහා මෙම ගොඩනැගිල්ලට මුදල් ලබා දීමේදී ඊට සමගාමීව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන දෙකක් හෝ තුනක් සඳහා ගොඩනැගිලි සාදා ගැනීමට මුදල් ලබා දී තිබෙන අතර ඒ සියළුම ගොඩනැගිලි සාදා අවසන් කර තිබෙනවා.

දෙවන කාරණය මෙම ගොඩනැගිල්ල සාදා අවසන් කිරීමට නොහැකි වීමට හේතුව ලෙස බියගම ගරු සභාපතිතුමා පවසන්නේ මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට යොදා ගත් ඉඩම ප්‍රාදේශීය සභාවට අයත් නොවීම මෙහි ඉදිකිරීම් වසර දහයක් ගත වුවත් අවසන් නොවීමට හේතු වී තිබෙනවා. එම තත්ත්වය නම් ඒ තරම් ප්‍රසන්න නොවන බවයි ප්‍රසන්න සම්පත් ගරු සභාපතිතුමනි මාගේ අදහස. ඡායාරූපයෙන් පෙනී යන ආකාරයට මෙහි සිදුකර ඇති ඉදිකිරීම් සඳහා මීට වසර දහයකට පෙරදී පවා අවම වශයෙන් ලක්ෂ විස්සක්වත් වැය වන්නට ඇති බවයි පෙනී යන්නේ. එම මුදල කොපමණ වුවත් නීතියෙන් සුදුසුකම් නොලැබූ ඉඩමක ඉදි කිරීමක් සඳහා මුදලක් වැය කිරීම වසර දහයක් තිස්සේ විගනනයට හසු නොවීනම් එය මවිතයට කරුණක්.

නීතිය කුමක් වුවත් මෙහිදී ජනතා නියෝජිතයෙකු ලෙස මා අදහස් කරන්නේ, මෙම ප්‍රජා ශාලාව ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයක් නම්, එය ඉදිකිරීමට සුදුසුම භූමිය මෙම ඉඩම නම්, ඒ ඉඩමේ අදාල ඉදි කිරීම කිරීම සඳහා අයිතිකරුවන් එකඟතාව ලබා දෙන්නේ නම්, එය ඉදි කිරීම අවසන් කළ යුතු බවයි. ප්‍රාදේශීය සභාව ඉඩම පවරාගෙන හෝ එය සිදු කළ යුතුයි.  ප්‍රාදේශීය සභාව සඳහා පවරා ගැනීම හා පවරා දීම සම්බන්ධව සඳහන් කරද්දී මාගේ මතකයට නැගෙන්නේ පසුගිය දිනක පුවත් පතක පලවූ තවත් වාර්තාවක් සම්බන්ධවයි. ප්‍රදේශවාසීන් විසින් ඉදි කර වසර හතරක් තිස්සේ නොයෙක් කාරණා සඳහා පාවිච්චි කරමින් හා හොඳින් නඩත්තු කරගෙන විත් වැඩි ප්‍රයෝජනය හා වැඩි සපලතාවය සඳහා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පවරා දුන් ප්‍රජා ශාලාවක්, පවරා දුන් දින සිට මේ දක්වා (මතක හැටියට) වසර තුනක පමණ කාලයක් කිසිම ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් සිදුවෙද්දී ප්‍රාදේශීය සභාව නිවැරදි කිරීමටත්, මග පෙන්වීමටත් සිටිනා පළාත් පාලන කොමසාරිස් කාර්යාලය ඇස්-කන් පියාගෙන සිටින්නේ ඇයිදැයි ප්‍රශ්නයකි.

කෙසේ හෝ මාගේ පෞද්ගලික අදහසනම් ජනතාවගේ අවශ්‍යතා සඳහා නිර්මාණය කරනා සියලුම දෑ ජනතාවට අයිති විය යුතු බවයි. එසේ නොවන තාක් කල් ඒවා පිළිබඳව ජනතාව තුල වැඩි කැක්කුමක් ඇති වන්නේ නැත. එසේම ඍජු ප්‍රතිලාභීන් නොවනා ප්‍රාදේශීය සභාව එහි පැවැත්ම සඳහා වැඩි උනන්දුවක් දක්වන්නේ නැත. එබැවින් ඉතා ඉක්මනින් විනාශය කරා යාම සිදු වේ. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ හා පළාත් පාලන කොමසාරිස් කාර්යාලවල සිටිනා නීතිඥයන්, නීති විශාරදයින් හා විමර්ශණ නිලධාරීන් නොයෙක් ආලවට්ටම් දමා නොයෙක් මත ප්‍රකාශ කළද ජනතා අවශ්‍යතාවය හා ජනතා හැසිරීම අනුව කටයුතු නොකරන තාක් කල් මෙවැනි ප්‍රශ්න ඇති වනවා නො අනුමානය.

නීතිය ජනතාව සඳහා නම් ජනතාව වෙනුවෙන් නීතිය වෙනස් වනවා විනා නීතියට අනුව ජනතා අවශ්‍යතා හා හැඟීම් වෙනස් කළ නොහැක.

තුන්වන කරුණ නම් ප්‍රජා ශාලා මේ තරම් රටට අවශ්‍යයද යන්නයි. වැඩි විස්තර ඇතිව තොරතුරු ඉදිරිපත් කළ හොත් මාගේ ප්‍රාදේශීය සභාව පිළිබඳව එළි වීමෙන් ආයතනයට යම් අයහපතක් සිදුවිය හැකි බැවින් වැඩි තොරතුරු ඉදිරිපත් නොකරමි. කෙසේ වුවද අවම වශයෙන් ගම්මාන 3කට එකක් බැගින්වත් ප්‍රජා ශාලා අපගේ බල ප්‍රදේශය තුල ඉදි කර තිබේ. වරින් වර බලයට පත් වන සෑම සභාපති කෙනෙක්ම උත්සාහ කරන්නනේ තමන්ගේ කාලය තුලදී හැකි තරම් ප්‍රජා ශාලා ප්‍රමාණයක් ඉදි කිරීමටත්, හැකි තරම් ආදාහනාගාර ඉදි කිරීමටත්, සෑම කුඩා නගරයකටම බැගින් පොදු වෙළඳ සැල් ඉදිකිරීමටත්ය. එයට හේතුව වෙනත් සටහනකින් සාකච්ඡා කරමු.

එහෙත් මෙසේ ඉදි කර ඇති ගොඩනැගිලි වලින් අවම ප්‍රයෝජනයවත් ගන්නේ උපරිම ලෙස 10% ටත් අඩු ප්‍රමාණයක බව වගකීමෙන් ප්‍රකාශ කරමි. ප්‍රජා ශාලාවලින් 80%ක්ම අතහැර දමා ඇත. ඉතිරි ඒවාද ප්‍රයෝජනයට ගන්නේ යලට-මහට මෙනි. පොදු වෙළඳ සැල්වලින් විවෘතව ඇත්තේ ඉදිරිපස කඩ කිහිපයක් පමණි. අනෙක් ඒවායින් බොහොමයක නැවත බදු දීම සඳහා ඇති බවට සඳහන් දැන්වීම් අලවා වසා දමා ඇත. විශේෂත්යව නම් එම දැන්වීම්වල සඳහන් වන දුරකතන අංකවලට ඇමතූ විට කතා කරන්නේ ඒවා දැන් බදු ගෙන සිටින අය වීමයි. මා දන්නා පරිදි බදුකරුවෙකුට නැවත බදු දීමට නොහැකිය. මිනිස්සු එන්නේ නැති තැන්වල කඩ කෑලි වෙන මොනවා කරන්නද?




2 comments:

  1. අහා මන්ත්‍රී තුමෙකුත් බ්ලොග් ලියන්න ඇවිත්. සාදරයෙන් පිළිගන්නවා. කෝ ළඟපාත් හිටියනම් මල් මාලයක්වත් දාන්න තිබ්බා

    Blog Archive එක Monthly View දාන්න. නැත්තන් පරණ ලිපි බලන්න අමාරුයි. දවසකට ලිපි 10ක් 15ක් වගේ ලියනවනම් තමයි Daily View දාන්න ඕනෙ.

    ReplyDelete
  2. මම හැමදාමත් ඔබ ළඟම සිටින්නෙමි. ඔබගේ උපහාරයට මාගේ ප්‍රණාමය කරණාකර පිළිගන්න. මාගේ ගෙලට මල් මාලා දැමිය හැකි ආකාර තුනකි.

    පළමු අවස්ථාව මා ඔබගේ නියෝජිතයා බැවින් ඔබගේ අවශ්‍යතා පිළිබඳව නිබඳව මා දැනුවත් කරන්න. ඒ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටීමට ලැබීම මා ලබන්නා වූ පිවිතුරු මල් මාලාවකි.

    දෙවන අවස්ථාව මා වැරදි මගක් ගත් විට නොපැකිල මා නිවැරදි කරන්න. ඒ තුළින් මා ලබනා ආරක්ෂාව මා ගෙල සරසනා සුගන්ඳවත් මල් මාලාවකි.

    තෙවන අවස්ථාව නම් ඔබගේ නියෝජිතයා ලෙස නැවත වරක් මා තෝරා ගන්නා ලෙස මා ඉල්ලා සිටින විටකදී ඔබගේ අවංක තීරණය මත පමණක් ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න. එයින් මා ලබා ගන්නා පාඩම මාගේ අනාගතය වෙනුවෙන් මා පතනා සුන්දර මල් මාලාව වනු ඇත.

    හිතවත් චානක, ඔබගේ උපදෙස් ඉතා අගය කොට සලකමි. ඒ අනුව අදාල වෙනස් කිරීම් සඳහා උත්සාහ කරන්නම්. ස්තුතියි.

    ReplyDelete