Sunday 28 February 2010

'හොඳම පාර්ලිමේන්තුව හා හොඳම කැබිනට් එක' ෆෝස්ට් එකට හොඳම කමෙන්ට් එක!

මාගේ පූර්ව ෆෝස්ට් එක පලවී දින කිහිපයකට පසුව ඒකට දිග කමෙන්ට් එකක් දාල තිබුණා. එහි අන්තර්ගතය මට හානිකර වුවත් ඉතා සංවේදී දෙයක් එහි තිබෙනවා. ඒ දෙය මම පිළිගත්තත් නොගත්තත් එය ලියූ 'නිර්ණාමිකයාට' කිසියම් අසාධාරනයක් වී ඇති බව මට පෙනී ගියා ඊට පසු කිසිම කෙනෙක් එයට ප්‍රතිචාර දක්වා නොමැති කමෙන්. ඉතින් සම්ප්‍රදායික දේශපාලඥයෙක්ට එහා ගිය තීරණයක් ගනිමින් එම කමෙන්ට් එක අළුත් ෆෝසට් එකක දාන්න තීරණය කළා. මම මෙය කියවන ඔපෙන් ඉල්ලන්නේ මේ කියන දේට ඔබ එකඟද නැද්ද යන්න වත් කියන්න.මෙන්න කමෙන්ට් එක.

Anonymous said...
හිතවත් මෙම්බර් මහත්තයෝ, ඔබතුමාට දැන් අවබෝධ වී ඇති දේ මේ රටේ ජනතාවට ඊට පෙර (අඩු වැඩි වශයෙන්) අවබෝධ වී තිබුණා විය යුතුයි. කොහොම හරි ඔබතුමා කියනවා වගේ සිද්ධවෙන්නේ ඔබතුමන්ලා හරියැයි සිතන දේ තමා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන්ලා 225 දෙනා ලෙස තේරීපත්වෙන අයගෙන් ඔබතුමන්ලා නොදන්නේ විරුද්ධ පක්ෂවලට හිමිවන ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනාගේ නම් පමණයි. ඒ තරම් 'වාසනාවන්ත ආණ්ඩුවක්' තමා පත්වීමට නියමිත. අනිත් කාරණය ගරු මැම්බර්තුමනි, බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී ඇති මනාප පොරයටත් ඉතා සාර්ථක විසඳුමක් ඔබතුමන්ලාගේ නව මැතිවරණ ක්‍රමය මගින් ලබා දී තිබෙනවා. ඒ බව තවමත් තේරුම් නොගත් කිහිපදෙනෙක් (ඒ අයට කියන්නයෑ මොකක්ද වෙන්නේ කියල-තේරුම් ගන්නකම් ඔහෙ නටපුවාවේ) මනාප වෙනුවෙන් ලොකු අරගලයක් දියත් කරල තිබුණත් (සංවර්ධන සභා සඳහා පැවති) පළමු සමානුපාතික ඡන්දයේදී වගේ කණ්ඩායමෙන් තෝරා ගන්නේ කවුද කියල නායකයා තීරණය කිරීම මනාප ගැටුමට විසඳුමක්! ඒ සේරම පැත්තකින් තියමු. මැම්බර් මහත්තයෝ තව එක දෙයක් කියන්න තියෙනවා. මමත් රාජ්‍ය සේවකයෙක්. හැබැයි ඔබතුමා වගේ ආණ්ඩුවේ සේවකයෙක් නෙමේ. ඉතින් රාජ්‍ය සේවකයෝ හැටියට අපි මැතිවරණයක් වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. අපි කරන කාර්යය හා එහිදී අපි ගන්නා වගකීම හා අවදානම ඉතා විශාලයි. අපේ රාජකාරී ජීවිතයේදී අප ඒ තරම් අවදානමකට මුහුණ පාන අවස්ථා නැති තරම්. ඒ වුනත් අපි ඒ අවදානම හා වගකීම ගන්නේ රටේ සීමිත පිරිසකට හිමිවන වැදගත් අවස්ථාවක් සේ සලකා බොහොම ලොකු අභිමානයකින්. මැතිවරණයට පෙර පැවැත්වෙන පුහුණු කිරීමේ සැසි (ඡන්ද පන්ති) වලදී උසස් මැතිවරණ නිලධාරීන්ගේ දේශණවලට සවන් දෙනකොට අපි තවත් උද්දීපනය වෙනවා. අපිට පැවරිලා තියෙන්නේ කොච්චර ලොකු වගකීමක්ද කියල හිතල ඉත සිතින් පේ වෙලා තමා ඒ රාජකාරියට යන්නේ. අපට ඇතිවන්නේ මැතිවරණයේදී අපිට ඉහලින් සිටින්නේ 'මැතිවරණ නීතිය' හා 'යුත්තිය' පමණයි කියන හැඟීම. අපි මැතිවරණය පුරා කටයුතු කරන්නේ ඒ ගාම්භීර හැගීමෙන්. ඒ නිසයි අපේම ඇමතිතුමා ආවත් අපි නීතිය හරියටම ක්‍රියාත්මක කරන්නේ. ඡන්දයට පෙර දිනයේ උදෙන්ම ගිහින් ඡන්ද පෙට්ටිය හා ඡන්ද පත්‍රිකා ටික භාර ගත් මොහොතේ සිට ඡන්දය අවසන් වී ඒ සියල්ල ආපසු භාර දෙන මොහොත දක්වා අපි කටයුතු කරන්නනේ ජීවිතය දෙවෙනි කොට සලකමින්. රාත්‍රියක් ගත කිරීමට අවශ්‍ය අවම අවශ්‍යතා කිහිපයකින් පමණක් සැනසී, නොදන්නා ප්‍රදේශයක, නොහඳුනන නිලධාරීන් පිරිසක් සමග රැයක් එළි කරන්නේ ලොකු චකිතයකින්. ඡන්දය විමසන දිනයේ උදේ 5ට පමන ඇරඹෙන විවේකයක් නොමැති රාජකාරී සම්භාරය එක දිගට පැය 12ක් පමණ යන්ත්‍රයක් වගේ ඉටු කරනවා. එහිදී අත්විඳීමට සිදුවන විවිධ අවස්ථාවන් ඉතාමත් සංකීර්ණයි. සමහර සිද්ධීන් හරිම සංවේදීයි. ගමේ ග්‍රාමනිලධාරියාගේ වැරදි හා අතපසුවීම් වලට පවා බැනුම් අසන්නේ අපි. ඡන්දහිමි නාම ලේඛනයේ නම නොතිබීම වැනි අවස්ථාවලදී බොහෝ මිනිසුන් ඉතා ආවේගශීලී ලෙස හැසිරෙනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනා මොනම පක්ෂයකට හෝ තදින් ඇලුම්කරන්නන් නොවන බව හා පක්ෂ සමග දැඩි සම්බන්ධයක් නොමැති අය බව එතන සිටින නියෝජිතයින්ගේ හැසිරීම්වලින් හොදින් නිරීක්ෂණය කළ හැකියි. ඔවුන් එන්නේ තමන්‍ ගේ අයිතියක් වෙනුවෙන්. එය අහිමි වී ඇතිබව දකින විටදී ඔවුන් අවේගශීලී වීම ස්වාභාවිකයි. එහෙත් එවැනි කෙනෙකුට කිසිම සහනයක් දීමට අපි නොපෙළඹෙන්නේ බැරිවෙලාවත් ඔහු කරන්නේ වංචාවක් නම් අපි ඉතා පාරිශුද්ධව දැඩි වගකීමකින් එකතු කරගන්නා ලාංකීය ජනතාවගේ පාරිශුද්ධ වරණය බිඳකින් හෝ අපිරිසිදු වීමට ඉඩ නොදෙමි කියන අවංක හැඟීමෙන්. ගරු මැම්බර්තුමනි, අපි පමණක් නොවේ, තමන්ගේ ඡන්දය 'රටට දැනෙන තීරණයක්' යැයි විශ්වාස කරනා අවංක මිනිසුන් කී දෙනෙක් නම් තමන්ගේ අතින් වියදම් කරමින් ඉතා දුරබැහර සිට තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයට එන්නේ කොතරම් විශ්වාසයෙන්ද? ඒත්... අපි ඒ තරම් කැපවීමෙන් එකතු කරනා ශ්‍රී ලාංකීය මහජනතාවගේ අති පාරිශුද්ධ මනාපය, පසුදා අළුයම ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයේ එළියට විත් හෙලූ කෙල බිඳක් සේ ඉවතට විසි වේනම්, අපි මේතරම් නහින්නේ ඇයි. ඔබතුමාගේ මීට ප්‍රථම බ්ලොග් ෆෝස්ට් එකක ජන්දය වෙනුවෙන් ඔය තරම් මහන්සි වුනේ අපරාදේ බව ඔබට නොකියා කියවී තිබුනා මතකයි. ඒ කෙසේ වුවත් මැතිවරණ කාර්යාලයේ උසස් නිලධාරීන්ට අපේ හිසෙහි තැබීමට අපිම දෙන්නේ වේලුනු කොස් කොල වලින් සෑදූ ඔටුන්නක් විනා රාජ්‍ය නිලධාරියෙක් ලෙස අපට පමණක් හිමි වන විශාල අභිමානයක් නොවන බව දැනෙන විට ...ගරු මැම්බර් උතුමානෙනි, කන්පෙති රත් වී යන් ලැජ්ජාවකුත් සමග පුදුමාකාර ආත්ම අවමානයක් හිතට දැනෙනවා. අවංකවම කියන්න ඔබතුමන්ලා තවත් මුඛයකින් අපට සිනා වෙනවා නේද?

2 comments:

  1. අම්මෝ ඇඩෙනවා ඒක කියෙව්වාම

    ReplyDelete
  2. මෙම්බරයා මේකෙ මොනවද නොපිලිගන්නෙ ?

    ReplyDelete