Saturday 10 October 2009

අකමැති වැඩක් 'අනර්කලී සමග'

සාමාන්‍යයෙන් තරුණ ජවය තියෙන පිරිමි කැමතියි මම අකමැති උනාට. දේශපාලඥයෝ විශේෂයෙන්ම. ඉඳල හිටල කරනවාට වඩා නිරන්තරයෙන්ම තියෙනවානම් තමා ඒ ගොල්ල වඩාත් කැමති. වියදම නම් සැරයි තමා. ඒත් ආතල් එක ඒ වගේද? තමන්ගේ දෛනික රාජකාරී පැත්තකින් තියල, රැයක් දවාලක් නැතුව, හරියට සත්තු වගේ හැසිරෙන්නේ සමහර වෙලාවට. ඇත්තම කියන්නේ; මම නම් කැමති නෑ ඔය පිළිවෙලට. හැම දේකටම කලක් වෙලාවක් තියෙනවා. ඔහොම ගියාම අපේ හොඳ පණ යනවා. “උඹ ගෑනියෙක්නේ බං." එහෙම කියයි කට්ටිය. ඇත්ටම මට වඩා ගෑණුත් කැමතියි. ඒකනේ ගෙවල් දොරවල්, දරු මල්ලෝ අමතක කරල හෝටල් ගානේ රෙසට් හවුස් ගානෙ රිංගන්නේ. අඳුරන අයගේ, හිතවතුන්ගේ ගෙවල්වලට ගියත් ඉතින් එකම දේනෙ. අනර්කලීලට හොඳනම් අපිට නරක මොකද කියල ඒ ඇත්තියෝ අහයි. අනර්කලී වගේද ඔයාල.

ඇත්තටම මේක සදාචාරාත්මක නෑ. සදාචාරය පැත්තකින් තියමු. ආර්ථිකයට පවා ඔරොත්තු දෙන්නේ නෑ. ඇයි සේරම එකම සැරේ තිබ්බනම් දිනන්න බැරිද? අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. යුද්ධ ජයග්‍රහනයත් එක්ක ලබපු ජනප්‍රියතාවය, මහජන ආකර්ෂණය දැන් අඩු වේගෙන යනවා. දකුණත් උතුරු මැද එක්කම තිබ්බා නම් දකුණෙ ඡන්ද දාන ප්‍රතිශතය පවා මීට වඩා වැඩි වෙන්න තිබුණා. දැන් 60% ට අඩුයිනේ. දිනන එක අවුලක් නෑ. ඒත් ප්‍රතිශතය 85%...?

මම ලබපු අත්දැකීම නම් පිටන් ගිහින් කරන්න පුළුවන් දෙයක් නෑ. එහේ මිනිස්සුන්ට නිකං කරදරයක් විතරයි. ඇත්තටම අපේ පළාතේ ඡන්දය වෙලාවේත් අපි වැඩියම මහන්සි උනේ කොළඹින් ඇවිත් හිටිය මැති ඇමතිවරුන්ට සලකන්න තමයි. පොඩ්ඩක් හරි අඩුපාඩු උනොත් සංවිධායකගෙන් සෝලිනේ. ඉතින් මට භාර දීල හිටිය කට්ටියට අතින් වියදම් කරගෙන සැලකුවා. කවුරුත් ගියේ “ඔනේ දේකට එන්න මල්ලි. ඕනෙ උදව්වක් දෙන්නම්“ කියල. කට්ටිය හරි දක්‍ෂයි. මාර කතා. ඕනෙ ප්‍රශ්නයක් උනොත් පට් ගාල ඇටෙන්ඩ් වෙනවා. පළාතම හෙල්ලිලා හිටියේ. කොච්චර හෙල්ලුනාද කිව්වොත් අපේ කොට්ඨාසෙ දෙන්නම් පරාදයි.

ගාල්ලට අපි ගිහිල්ලත් ඊට වඩා දෙයක් කළා කියල නම් මම හිතන්නේ නෑ. මමත් ඉතින් රූකඩයක් වෙන්න බැරි නිසා වෙනස් විදිහේ දෙයක් කරන්න උත්සාහ කළා. ඒත් අනර්කලී ඇතුළු සියලුම දෙනා හිටියේ සම්ප්‍රදායික රාමුවේ. මනාපනම් ඇති ඕනෙ තරම්. ඒත් ඒ අපි කරපු දේවලින් නෙමේ. එයා ජීවිතයේ වටිනාම දේවල් කැප කරල ලබා ගත්තු ජනප්‍රියතාවය නිසි ලැබෙන දේවල්.

මට අදාල කොට්ඨාසයේ නොවුනත් මට මුණ ගැහුනා නියම චරිත දෙකක්. දෙන්නම මැම්බර්ල. (මම කැමති උනාට ඒ දෙන්නම ඒ නමට කැමති නෑ. ඒ නිසා නිවැරදි කරන්නම්. එක්කෙනෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමෙක්; අනෙක් කෙනා තුමියක්). මන්ත්‍රීතුමා ඡන්දෙ ඉල්ලල නෑ. ඉල්ලන්න හදලත් නෑ. ඒ උනාට බැහැල වැඩ. කොටින්ම මිනිහා වැඩ කරන කෙනාවත් මිනිහ තරම් දඟලන්නේ නෑ. එයා වැඩ කරන්නේ තමන්ගේ සභාපතිතුමාට. සභාපතිතුමා දිනුවොත් උපසභාපති සභාපති වෙනවා. ඊළඟට මනාප මෙයාට. එතකොට එයා උපසභාපති.

මන්ත්‍රීතුමිය ඡන්දෙ ඉල්ලන්න දෙන්න කියල ඉල්ලුවා. දෙනවමයි කියල හිටියා. ඒත් අන්තිමට කැපිල. හේතුව ප්‍රසිද්ධ උනා. අනර්කලී මාතරට ඉල්ලුවානම් මෙයාට දෙන්න තිබුණා. ඒත් ගාල්ලට ආව නිසා දෙන්න විදිහක් නෑ; මොකද තවම නීතියෙන් කාන්තා නියෝජන ප්‍රතිශතය නියම කරල නෑ. ඒ නිසා දැන්ම වැඩිපුර ගෑනුන්ට දෙන්න බෑ. ඒ නිසා මේ මන්ත්‍රීතුමියට ටිකට් එක නෑ. රැස්වීමක දෙකක එක ළඟ වාඩිවෙලා ඉඳල ටිකක් යාළු උනාට පස්සෙ මමත් නිකමට ඇහුවා අනර්කලී නිසා කැපුනා නේද කියල. “මොන පිස්සුද මල්ලි, ලොක්කගෙ එකා ඉල්ලන නිසා මාව කැපුවේ. කාන්තා නියෝජනය නියම කරල නැත්නම් කී දෙනෙක් දැම්මහම මොකෝ. මුන්ට පිස්සු.“

සතියක් විතර අකමැති වැඩක් කරල ඇවිත් අද තමා නෙට් එකට ගියෙත්. වි-තැපෑලත් පිරිල. අන්තිමට දාපු ෆෝස්ට් එකට මේල් එකකින් උත්තරයකුත් එවල. ඒ ගැන හෙට කියන්නම්. දැන් නිදා ගන්නවා. හෙට පාන්දර ඇහැරෙන්න ඔනෙ. ප්‍රතිපල වලට සුභපතන්න තියෙනවානෙ.

1 comment:

  1. ගාල්ලෙ ජන්ද ප්‍රකාශ කරල තියෙන්නේ 50%යි.

    ReplyDelete