Sunday 8 November 2009

මී ළඟ ජනාධිපති

වර්තමාන ජනාධිපතිතුමාගේ ධූර කාලය අවසන් වීමේ අවස්ථා දෙකක් තිබේ. එක නම් එළඹෙන ඡන්දයෙන් පරාජය වීමේ අවස්ථාවයි. දෙක නම් දෙවන වරටද ජයග්‍රහණය කර එම කාලයද අවසන් වූ විට එළඹෙන අවස්ථාවයි. මීට මාස කිහිපයකට පෙර නම් තවත් වසර 25කටම ජනාධිපතිකම එතුමාට වෙන් නොකළ කෙනෙක් නොසිටි තරම්ය. රනිල් පවා එසේ සිතුවාට සැක නැත. දකුණේ ඡන්දයෙන්  85%ක් ලබාගත් විට ජනාධිපතිකම අසීමිත වාර ගනනක් දැරීමට හැකිවන ලෙස ව්‍යවස්ථාව වෙනස් කරගන්නා අයුරු බොහෝ දෙනා සිතින් මවාගෙන සිටි බවට මොනවාද ඔට්ටු. එහෙත් අයෙකුට සුභ, අයෙකුට අසුභ ඒ සිහින සියල්ල ගසාගෙන ගිය සුනාමිය ආවේද දකුණේ ඡන්දය හරහාය.

අපේ ජනාධිපතිතුමා වාසනාව පෙරටු කරගත් දේශපාලකයෙකි. රනිල් අවාසනාව කරපින්නා ගත් දේශපාලකයෙකි. අවාසනාව සදහටම තිබුනද වාසනාව කොයි මොහොතේ ගිලිහී යා හැකිදැයි කිව නොහැක. රනිල්ගේ අවාසනාව එසේම තිබෙද්දී ජනාධිපතිතුමාගේ වාසනාව ගිලිහුනොත් එය තවත් කෙනෙකුගේ වාසනාව විය හැකිය.

ඒ වාසනාවන්තයා කවුරු විය හැකිද? මා අත්විඳි දේශපාලන අතීතයේ රාජ්‍ය බලය මාරු වූ සෑම වේලාවකම තීරණාත්මක සාධකය වූයේ මාධ්‍යයයි. (මාරු නොවූ අවස්ථාවල එයට බලපෑවේද මාධ්‍යයමයි. විශේෂයෙන් රනිල්ගේ අවාසනාවේ ලොකුම සාධකය මාධ්‍යයෙන් නොලැබුණූ සහයෝගයයි.) මෙවරද තීරණාත්මක සාධකය බවට මාධ්‍ය පත්වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. තනි අශ්වයා වෙතට තරඟයක් ගෙන ආවේ මාධ්‍යයි. පෙර ජනාධිපතිවරණ කාලයේ පවා  සරත් කෙනෙකු කරළියේ සිටි නමුත් සරත් පොන්සේකා කරළියට අවේ අහම්බෙනි. ඒ ගෙන ආවේද මාධ්‍යයි. අවාසනාවන්ත ලෙස රනිල්ට පහර දෙන දිවයින ඇතුළු සියළු මාධ්‍ය අද ජනරාල් ශක්තිමත් කර හමාරය.

මීළඟ ජනාධිපති කවුද? අද සියළු දෙනාගේ හද ගැහෙනා රාවය එයයි.

මට තිබෙනා ගැටළු එය නොවේ. මී ළඟ ජනාධිපතිට/රටේ නායකයාට ලැබෙණා ආණ්ඩුව කුමක් විය හැකිද? අපේ සභාවේ අපේ කණ්ඩායමේ සියළු දෙනා, පිටට කුමක් කීවත් හිතේ චකිතයෙන් සිටිනා ආකාරයට ජනරාල් දිනුවොත් ආණ්ඩුව යූ එන් පී වනු ඇත. ජනරාල් පරම්පරාවෙන් යූ එන් පී කාරයෙකු වුවත් රනිල්ගේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ඔහුට දිරවයිද? (ජනරාල් ඉල්ලා ඇත්තේ අධ්‍යාපනය හා සෞඛ්‍ය පමනක් බවයි ආරංචිය) අනෙක් අතට ජේ වී පියට රෙද්දක් ඇඳගෙන ඔය ආර්ථික ප්‍රතිපත්තිවලට අත ඉස්සිය හැකි වේද? අපේ ජනාධිපතිතුමා ඇතුළු සියළු දෙනා දන්නා පරිදි “රනිල්නෙ අපට තිබුනු ප්‍රශ්නෙ; දැන් අවුලක් නෑ, අපි කොහොමත් ඒ පැත්තෙනේ"  කියා අර 17 දෙනා (දැන් 16යි; කොහොමත් ජාතික සංගමය හදා ගෙන එහෙම සෙට් වෙන්නේ ඔය හූදුවට තමා) ජනරාල් සමග එක් වුනාට “ජනරාල් ගේන්න අපි තමා දරදිය ඇද්දේ, ඒ නිසා අපි කොහොමත් ජනරාල් එක්කයි" කියා එකතු විය හැකි හෙළ උරුමය, රනිල් උතුරට වැඩි බලතල දෙද්දී කෙසේ ඉවසා සිටින්නද?

අනිත් අතට ඔය කවුරු පිටපොට ගැහුවත් ජනාධිපතිතුමාගේ වාසනාව තවමත් තිබේනම් ඊළඟට එතුමාට ලැබෙනා ආණ්ඩුව කුමක් විය හැකිද? නන්දන ගුනතිලක, කමල් දේශප්‍රිය දක්වා මේ වන විට එකතු වී සිටිනා සියළු දෙනාටමද, ගල උඩ සටනක් වැනි එළඹෙන ජනාධිපතිවරනය ජය ගැනීම සඳහා කිසිදු කේවල් කිරීමකින් තොරව ඉල්ලන දෙයක් දීමට පොරොන්දු වී එක් කරගන්නා සියළු දෙනාටමද සංග්‍රහ නොකර, ඊරිසියාවට වගේ විමල් කියනා විදිහට කැබිනට එක 30ට 35ට අඩු කළොත් මගේ පළමු කියමන; ධූර කාලය අවසන් වන අවස්ථා ගනන දෙකයි කියපු එක වරදින්නට ඉඩ තිබේ. ලංකාවේ විධායක ජනාධිපති ඉතිහාසයේ දෝශාභියෝගයකින් පරාජයවූ පළමු ජනාධිපතිතුමා වීමේ අවාසනාවන්ත අවස්ථාව එළඹෙනු ඇත.

5 comments:

  1. I'm more than 100% sure that Mahinda will win the election. Even his bathbalayas do all those nasty things, people will vote him.
    And also don't forget that Mahinda is the most cunning politician in entire history in Sri Lanka. So I don't think UNP and Jepppas can defeat him.

    ReplyDelete
  2. ජෙනරාල්වරයා මැතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමේ නීතිමය බලතල ජනාධිපති සතුව ඇත. කපටි රජා ඒවා පාවිච්චි කරන්නට යන බවටත් කට කතා තියෙනවා නේද?

    ReplyDelete
  3. ඒක නම් ඇත්ත තමයි.ජෙනරාල් වුනත් ඉන්නේ ජනාධිපතිගේ
    අණසක යටතේ නේද?.අනික රාජ්‍ය අංශයේ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට මැතිවරණ ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වෙන්න පුලූවන්ද?.. නොදන්න නිසායි අහන්නේ...

    ReplyDelete
  4. මාධ්‍ය ඉතින් හැම දේකම තීරණාත්මක සාධකය
    මාධ්‍ය එක එක පක්ෂ වලට කඩේ යමින් ඇත්ත කියන්නෙ නැති හින්ද තමා අද රට මේ තත්වයේ තියෙන්නෙ

    ජෙනරාල් ෆොන්සේකාට ඡන්දය ඉල්ලිය හැකිද?
    http://www.divaina.com/2009/11/09/feature01.html

    ReplyDelete
  5. "දේශපාලනයට පැමිණීමට කිසිදු අදහසක්‌ නැහැ"
    සොල්දාදුවකු ලෙස ගොඩ නඟාගත් කීර්තිනාමය ඊට වඩා වටිනවා
    ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා
    http://www.divaina.com/2009/07/16/news33.html

    ReplyDelete