Friday 29 January 2010

විශ්මයජනක ජයග්‍රහණයක්....!

නොයෙක් ආලවට්ටම් අටුවා ටිප්පනි දමා ලිව්වත්, කෙලින්ම කිව්වත් සිදු වී ඇත්තේ එක දෙයකි. එනම් මේ තුන් ලෝකයේ කිහිප දෙනෙකු පමණක් දැනසිට, අපේ ජනාධිපතිතුමාත් මාත් ඇතුළු අතිමහත් බහුතරයක්  පාක්ෂිකයිනුත්,  මහජනතාවත් බලාපොරොත්තු නොවූ විශ්මයජනක ජයග්‍රහණයක් හිමිව ඇත. ර‍ටේ ජනතාව මේතරම් ප්‍රමාණයක් අපට ඡන්දය දෙන බවට විශ්වාසයක් තිබුණානම් අප කිසිකෙනෙකුට මේතරම් 'මැරෙන්නට' අවශ්‍ය නැත. ජනාධිපතිතුමා දිනවීමට වැඩ කළ කවුරුත් ඒ තරම් වෙහෙසුනේ මෙය ආරම්භයේ සිටම අපට 'ගල උඩ සටනක්' සේ පෙනුන බැවිනි. කෙසේ හෝ අවසානයේ අප ලබා තිබෙන්නේ ඉතාමත් විශ්මයජනක ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණයත් සමග අපට උගත හැකි දේ බොහෝය.

ඒවා කිහිපයක් මෙසේය.
  • මහජන මතය ගලනා ගඟක් වැනිය.
  • ආරම්භයේ පිරිසිදුය. ඉතා පටුය. වේගය වැඩිය. හඬ වැඩිය.
  • ගඟට තවත් දේ එක්වන්නා සේ මහජන මතයටද තවත් දේ එක්වේ.
  • ටිකක් දුර ගලද්දී ගඟ අපිරිසිදු වන්නා සේ මහජන මතයද ටිකෙන් ටික දූෂණය වේ.
  • අවසානය වෙද්දී අපිරිසිදු වේ. පුළුල් වේ. වේගය අඩු වේ. හඬ නැතිවේ. 
  • ගඟ හරස් කර වේල්ලක් බැඳ වෙනස් දිසාවකට ගෙන යා හැකිවන්නා සේ මහජන මතයද ඕනෑම දිසාවකට හැරවිය හැකිය. 
  • ගඟ හරස් කොට විදුලි බලය නිපදවන්නා සේ මහජන මතය හරස් කොට නොයෙක් බලයන් උත්පාදනය කර ගත හැකිය.
  • ඒ බලය ඕනෑම දෙයකට යොදා ගත හැකිය.
ඒ එක් පැත්තකි. තවත් දේ අපට උගත හැකිය.
  • මේ ලෝකයේ කරන්නට බැරි දෙයක් නොමැත.
  • 'මහජන නියෝජිතයා' යනු සංකල්පයක් නොව වෘත්තියකි.
  • 'හොඳ' තීරණය කරන්නේ බහුතර නොව බලය ඇති අයය.
  • කළ යුත්තේ බලයට එරෙහිව යාම නොව බලයෙන් වැඩක් ගැනීමය.
  • 'අගයන්' (Values) තම සංස්කෘතියට අනන්‍යවූ දේවල් විය යුතුය. (උදාහරණයක් ලෙස, සෝමාලියානු සංස්කෘතියට අනුව යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට නම් කාන්තාව තම ජනේන්ද්‍රයේ භගමනිය කපා ඉවත් කරවා ගත යුතුය. ඒ සෝමාලියානු සංස්කෘතියේ 'අගයයන්'ය. -වාරිස් ඩයරිගේ Desert Flower)
  • 'වගවීම', 'යහපාලනය', 'ප්‍රජාතන්ත්‍රවාදය', 'විනිවිදභාවය', 'සමානාත්මතාවය', 'භාෂණ නිදහස', 'තොරතුරු දැනගැනීමේ අයිතිය', 'නීතීන්ට යටත් බව', 'ප්‍රකාශිත නීතීන් යටතේ පමණක් පාලනය විය යුතු බව' ආදී වූ, බාහිර සංස්කෘතීන්ගෙන් වැළඳ ගෙන හිස් මුදුනින් වන්දනාමාන කරනා 'අගයන්' (Values) සිංහල සංස්කෘතික ලක්ෂණ නොවන බව වටහා ගත යුතුය.
  • කාළිංඟ මාග හා යුරෝපීය ජාතීන් විසින් සැලසුම් සහගත ලෙස සිංහල අපගේ ජාන විකෘති කළ ද, වසර 2500ක ලිඛිත ඉතිහාසයටත් ඈතට දිවෙන වසර 7000 ක් පමණ කාලයක සිට පැවත එන රාජපාක්ෂිකත්වය වැනි උතුම් ගතිගුණ අපගේ ජානවල තවමත් ඉතිරිව පවතී.
 අංකුර දේශපාලඥ්ඥයන් ලෙස ලාබාල අපට උගත හැකි දේ.
  • ****** ***** ***** බව.
  • ****** ******** ******* බව.
  • ****** ******* ******* ********** බව.
  • පවත්නා තත්වය හරියට අවබෝධ කර නොගෙන කටයුතු කළොත් විශ්මයජනය අවසානයක් දැකිය හැකි බව.
  • යන්නේ කොහෙද ඇසූ විට මල්ලේ පොල් කියනවාටත් වඩා පොල්ලලේ මල් කීම වඩාත් ආරක්ෂිත බව.
  • ඕනෑවට වඩා වැඩි පණ්ඩිතකම්වලට නොගොස් පක්ෂ සාමාජිකත්වයත්, මෙම්බර්කමත්, ජීවිතයත් බේරාගෙන සුදුසු තැනක් හා අවස්ථාවක් බලා ගඟ හරහා වේල්ලක් බැඳ බලයක් උත්පාදය කොට ගෙන අවශ්‍ය වැඩක් කරගත යුතු බව.