Monday 12 October 2009

අපිට පුළුවන් මෙච්චරයි...!

මගේ දෙවන සටහන මගින් පළාත් පාලන ආයතනයත් තවත් පුද්ගලයෙකු ලෙස අර්ථ දක්වා කරුණු ගෙන හැර පෑවද තනි පුද්ගලයෙකුත් පළාත් පාලන ආයතනකුත් අතර වෙනස්කම් තිබෙන අවස්ථාද ඇත.
ඕනෑම පුද්ගලයෙකුට නීතියෙන් හෝ සමාජ සාරධර්ම වලින් තහනම් කොට නොමැති ඕනෑම දෙයක් කිරීමේ නිදහස තිබේ. එහෙත් පළාත් පලාන ආයතනයකට හැකි වන්නේ නීතියෙන් කළ හැකියැයි සඳහන් කර ඇති දේ පමණි. කළ නොහැකියයි කියා නොතීබූ පහණට සිතෙන සිතෙන දෙයක් කිරීමේ හැකියාව පළාත් පාලන ආයතනයකට නොමැත.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 3 වගන්තියේ ප්‍රාදේශීය සභාවල කර්තව්‍ය මෙසේ දැක්වේ.

එක් එක් ප්‍රාදේශීය සභා ප්‍රදේශය සඳහා සංස්ථාපනය කරන ලද ප්‍රාදේශීය සභාව, එම ප්‍රදේශය ඇතුළත පාළත් පලාන ආයතනය විය යුතු අතර,
  • මහජන සෞඛ්‍යයට
  • පොදු උපයෝගීතා සේවාවන්ට සහ
  • පොදු මංමාවත්වලට ද
සාමාන්‍යෙයන් එම ප්‍රදේශය ඇතුලත ජනතාවගේ
  • සුඛ විහරණය
  • පහසුව හා
  • සුභසාධනය
සහ සියලු පහසුකම්
  • ආරක්‍ෂා කිරීමට සහ
  • ප්‍රවර්ධනය කිරීමටද
අදාල සියලු කරුණු
  • විධිමත් කිරීම
  • පාලනය කිරීම සහ
  • පරිපාලනය කිරීම
ඊට භාර විය යුතුය.
ඉතා විශාල පරාසයක් ඇතුලත් සේ පෙනුන ද ප්‍රාෙද්ශීය සභාවකට හිමිව ඇත්තේ ඉතා සුළු කාර්ය කොටසකි. පළාත් පාලන ආයතනයක් ලෙස සැලකූ විට, එවැනි ආයතනයකට හිමි වන්නේ මෙම කාර්යයන් පමණක් විය හැකිය. එහෙත් ප්‍රාදේශීය සභා පිහිටුවීමේ අරමුණ වූයේ ප්‍රාදේශීය මට්ටමට බලය බෙදා දීමය. ඒ අර්ථයෙන් ගත් විට ප්‍රාදේශීය සභාවකට හිමිව ඇති බලතල කෙතරම් අවමද? ප්‍රදේශයේ සංවර්ධනය, ආර්ථිකය, සමාජීය වර්ධනය වැනි ප්‍රධාන කරුණු මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහනය, වැනි කරුණුවලින්ද යම් ප්‍රමාණයක් ප්‍රාදේශීය සභාවට හිමි විය යුතුය.

Sunday 11 October 2009

නිවැරදි කිරීමක්:- පළාත් පාලන ආයතනවලට මෘදුකාංග මිලදී ගැනීම තහනම්...!

කතෘ සටහන.


'පළාත් පාලන ආයතනවලට මෘදුකාංග මිලදී ගැනීම තහනම්...!' නමින් මෙම්බර් ඩොට් කොම් හි පලවූ සටහන සම්බන්ධව අදහස් දක්වමින් එවා ඇති විද්යුත් තැපෑල් පණිවුඩයක් මගින් එම සටහනේ දැක්වූ කරුණු කිහිපයක් නිවැරදි කර තිබේ. එසේම අප දැනගෙන නොසිටි කරුණු කිහිපයක් පිළිබඳව පැදිලි කිරීමක්ද සිදු කර ඇත එබැවින් එම ලිපියේ සඳහන් කරුණු මෙසේ පල කරන්නෙමු.

ගරු මැම්බර් තුමනි,

ඔබගේ බ්ලොග් අඩවියේ පලවූ 'පළාත් පාලන ආයතනවලට මෘදුකාංග මිලදී ගැනීම තහනම්..!' නැමැති සටහන සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම විද්‍යුත් ලිපිය එවමි. එම සටහන හරහා ප්‍රතිචාර මගින් පිළිතුරු දීමට හැකියාව ඇති බව දනිමි. එහෙත් තවත් අයට ඔබතුමාගේ ගේ සටහන හරහා අදහස් දැක්වීමට ඉඩ තබමින් ඔබතුමාගේ දැන ගැනීම පිණිස මේ කරුණු දන්වා එවීමට අදහස් කළෙමි.

ඔබතුමා වැනි මහජන නියෝජිතයෙකු ‍තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රයෝජන ලබා ගැනීමට පෙළඹීම සම්බන්ධව මාගේ සතුට හා උපහාරය ඔබතුමා වෙත පුද කරමි. ඔබතුමා බ්ලොග් ලිවීම සඳහා පෙළඹීමට හේතුව දුටු විට සියුම් සතුටක් මා තුල ඇතිවිය. කෙසේ වුවද ආරූඩ නමකින් පෙනී සිටිනා ඔබතුමාගේ අනන්‍යතාව සොයා බැලීමට කිසිසෙත් උත්සාහ නොකරමි. මා වෙත පුද්ගලිකව හෝ හෙලිදරව් වීමක් බලාපොරොත්තු නොවෙමි.

දැන් අපි ඔබතුමාගේගේ බ්ලොග් සටහන දෙසට යොමු වෙමු.

“පළාත් පාලන දෙපාර්තමේනතුව විසින් ‘කිසිම පරිගණක මෘදුකාංගයක් මිලදී නොගන්නා‘ ලෙස උපදෙස් ලබා දී ඇත. මෙයට හේතුව ලෙස පළාත් පාලන කොමසාරිස් දක්වා ඇත්තේ පළාත් පාලන අමාත්‍යංශය මෘදුකාංග නොමිලේ ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති නිසා නව මෘදුකාංග මිලදී ගැනීම සුදුසු නොවන බවයි.“     

ඔබතුමා නිවැරදිය. පළාත් පාලන අමාත්‍යංශය ‘පළාත් පලනය සඳහා තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතිය‘ නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු සැකෙවින් මෙසේය.

    • ‍තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය හෙවත් ඉක්ටා ආයතනය සමග එක්ව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශ මෙම වෘපෘතිය මෙහෙයවයි.
    • ‍මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ පළාත් පාලන ක්‍ෂේත්‍රයේ තිබෙන්නා වූ යල් පැන ගිය හා ආකාර්යක්‍ෂම කාර්යයන් යළි නිර්මාණය කොට ක්‍රියාත්මක කිරීමය.
    • තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යනු මෙම යළි නිර්මාණය කළ ක්‍රියාවලිවල ක්‍රියාත්මක කිරීමේ උපකරණය.
    • පළාත් පාලන සේවාවන් මහජනතාවගේ පහසුව අරමුණු කර ගනිමින් සිදු කිරීමට මෙම ව්‍යාපෘතිය මගින් සැලසුම් සකස් කරනු ඇත.
    • නියමු ආයතන ලෙස තෝරා ගත් මහ නගර සභාවක, නගර සභාවක හා ප්‍රාදේශීය සභාවක මෙම නව්‍යකරණ වැඩපිළවෙල පළමුව ක්‍රියාත්මක කරනු ලැබේ.
    • ඒවායේ දී නව ක්‍රියාවලිවල හා මෘදුකාංගවල ක්‍රියාකාරිත්වය අධ්‍යනය කොට රටේ සියලුම පළාත් පාලන ආයතනවලට ගැපෙන අයුරින් සකස් කර, අනෙක් පළාත් පාලන ආයතන වෙත ලබා දෙනු ලැබේ.
    • ‍ මෙම ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩපිළිවෙලට, පළාත් පාලන ආයතනයක් මගින් මහජනතාව වෙත ලබා දෙනු ලබන සේවාවන්ගෙන් 95% ක් පමණ ආවරණය වේ.
    • එම සෑම ක්‍රියාකාරකමකටම අවශ්‍ය මෘදුකාංග මෙම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය වී නොමිලේ ලැබෙනු ඇත.
    •  මේ දිනවල ක්‍රියාවලි යළි නිර්මාණය කිරීම් සිදු කෙරෙමින් පවතින අතර එළඹෙන වසර තුලදී මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල දැකීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
ගරු මැම්බර්තුමනි,

ඔබතුමා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සුභාරතිය මගින් දැනුවත් වන්නට ඇත්තේද මෙම ව්‍යාපෘතිය පිළිබඳව ම විය යුතුය. එහෙත් මෙම ව්‍යාපෘතිය අතරමග නතර වී නොමැත. එය සැලසුම් කළ කාලසටහනට අනුව හොඳින් සිදුවෙමින් පවතී.

“සාමාන්‍යයෙන් ලංකාවේ ව්‍යාපෘති වලට සිදු වන්නේ ඔය සැන්තෑසියමය. එක් කාලයක් (අපි එන්නට කලින්) තිරසර නගර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇත. ප්‍රතිඵලයක් නැත. පවිත්‍ර ගංගා නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇත. පිරිසිදු වූ ගඟක් නැත. ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිනම් අනන්තවත් ක්‍රියාත්මක විය. ඒවාට පිංසිද්ද වෙන්නට ලෝකයේ විශාලම කෘතිම කන්ද ඉදි කිරීමේ ගෞරවය ලංකාවට ලබා ගැනීමට හැකි විය. එය තවමත් කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සුරක්‍ෂිතව පවතී. පළාත් පාලන ප්‍රතිසංස්කරණ නමින් විශාල වැඩසටහනක් ක්‍රියාත්මක විය. ලන්කාවේ පළාත් පාලනය තවමත් සුද්දා පටන් ගත් තැනමය. මේ තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතියටද ඒ දේම සිදු වී ඇතිවා වැනිය.“

ලංකාවේ ආරම්භ වූ ව්‍යාපෘති යම් ප්‍රමාණයක් අසාර්ථක වන්නට ඇත. අතරමග නතර වන්නට ඇත. බලාපොරොත්තු වූ ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි වන්නට ඇත. ඒවාට එසේ වන්නට හේතු වන්නට ඇත්තේ කුමණ කාරනා විය හැකිද? පළාත් පලානය පිළිබඳවත් තොරතුරු තාක්‍ෂණය පිළිබඳවත් එකසේ උනන්දුව දක්වන ඔබතුමා වැනි තරුණ ජනතා නියෝජිතයින්ගේ සමාජීය වගකීම තිබෙන්නේ මෙතනය.

ඕනෑම ව්‍යාපෘතියක් සාර්ථක වීමට නම් එහි ප්‍රතිලාභින් එම ව්‍යාපෘතියේ නිමැවුම් පිළිබඳව තෘප්තිමත් විය යුතුය. එසේ වීමටනම් එම ව්‍යාපෘතිය සැලසුම් කළ යුත්තේ එම ප්‍රතිලාභීන් අරමුණු කර ගෙනය. මා ඉහතින් දැක්වූ පරිදි ‘පළාත් පලනය සඳහා තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතිය‘ සැලසුම් කරනු ලැබුවේ මහජනතාව අරමුණු කරගෙනය. එබැවින් ජනතා නියෝජිතයින් ලෙස ඔබතුමන්ලා මෙවැනි ව්‍යාපෘති ජනතාව අතරට ගෙනයමින් ආරක්‍ෂා කළයුතුව ඇත.

කවදා මේ ගල් යුගයෙන් මිදෙන්නට හැකි වේද?

ගරු මෙම්බර්තුමනි, ගල් යුගයෙන් මිදීමේ කාලය එළඹ ඇත. තීරණය ඇත්තේ ඔබතුමන්ලා අතය. ඔබතුමන්ලාගේ අභිලාසය මතම එය සිදුවනු ඇත.

සිංහල බ්ලොග්කරණයේ දිගින් දිගටම රැඳී සිටින ලෙස ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින අතර, ඔබතුමාගේ ජනාතා සේවය සර්‍වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.


Saturday 10 October 2009

අකමැති වැඩක් 'අනර්කලී සමග'

සාමාන්‍යයෙන් තරුණ ජවය තියෙන පිරිමි කැමතියි මම අකමැති උනාට. දේශපාලඥයෝ විශේෂයෙන්ම. ඉඳල හිටල කරනවාට වඩා නිරන්තරයෙන්ම තියෙනවානම් තමා ඒ ගොල්ල වඩාත් කැමති. වියදම නම් සැරයි තමා. ඒත් ආතල් එක ඒ වගේද? තමන්ගේ දෛනික රාජකාරී පැත්තකින් තියල, රැයක් දවාලක් නැතුව, හරියට සත්තු වගේ හැසිරෙන්නේ සමහර වෙලාවට. ඇත්තම කියන්නේ; මම නම් කැමති නෑ ඔය පිළිවෙලට. හැම දේකටම කලක් වෙලාවක් තියෙනවා. ඔහොම ගියාම අපේ හොඳ පණ යනවා. “උඹ ගෑනියෙක්නේ බං." එහෙම කියයි කට්ටිය. ඇත්ටම මට වඩා ගෑණුත් කැමතියි. ඒකනේ ගෙවල් දොරවල්, දරු මල්ලෝ අමතක කරල හෝටල් ගානේ රෙසට් හවුස් ගානෙ රිංගන්නේ. අඳුරන අයගේ, හිතවතුන්ගේ ගෙවල්වලට ගියත් ඉතින් එකම දේනෙ. අනර්කලීලට හොඳනම් අපිට නරක මොකද කියල ඒ ඇත්තියෝ අහයි. අනර්කලී වගේද ඔයාල.

ඇත්තටම මේක සදාචාරාත්මක නෑ. සදාචාරය පැත්තකින් තියමු. ආර්ථිකයට පවා ඔරොත්තු දෙන්නේ නෑ. ඇයි සේරම එකම සැරේ තිබ්බනම් දිනන්න බැරිද? අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. යුද්ධ ජයග්‍රහනයත් එක්ක ලබපු ජනප්‍රියතාවය, මහජන ආකර්ෂණය දැන් අඩු වේගෙන යනවා. දකුණත් උතුරු මැද එක්කම තිබ්බා නම් දකුණෙ ඡන්ද දාන ප්‍රතිශතය පවා මීට වඩා වැඩි වෙන්න තිබුණා. දැන් 60% ට අඩුයිනේ. දිනන එක අවුලක් නෑ. ඒත් ප්‍රතිශතය 85%...?

මම ලබපු අත්දැකීම නම් පිටන් ගිහින් කරන්න පුළුවන් දෙයක් නෑ. එහේ මිනිස්සුන්ට නිකං කරදරයක් විතරයි. ඇත්තටම අපේ පළාතේ ඡන්දය වෙලාවේත් අපි වැඩියම මහන්සි උනේ කොළඹින් ඇවිත් හිටිය මැති ඇමතිවරුන්ට සලකන්න තමයි. පොඩ්ඩක් හරි අඩුපාඩු උනොත් සංවිධායකගෙන් සෝලිනේ. ඉතින් මට භාර දීල හිටිය කට්ටියට අතින් වියදම් කරගෙන සැලකුවා. කවුරුත් ගියේ “ඔනේ දේකට එන්න මල්ලි. ඕනෙ උදව්වක් දෙන්නම්“ කියල. කට්ටිය හරි දක්‍ෂයි. මාර කතා. ඕනෙ ප්‍රශ්නයක් උනොත් පට් ගාල ඇටෙන්ඩ් වෙනවා. පළාතම හෙල්ලිලා හිටියේ. කොච්චර හෙල්ලුනාද කිව්වොත් අපේ කොට්ඨාසෙ දෙන්නම් පරාදයි.

ගාල්ලට අපි ගිහිල්ලත් ඊට වඩා දෙයක් කළා කියල නම් මම හිතන්නේ නෑ. මමත් ඉතින් රූකඩයක් වෙන්න බැරි නිසා වෙනස් විදිහේ දෙයක් කරන්න උත්සාහ කළා. ඒත් අනර්කලී ඇතුළු සියලුම දෙනා හිටියේ සම්ප්‍රදායික රාමුවේ. මනාපනම් ඇති ඕනෙ තරම්. ඒත් ඒ අපි කරපු දේවලින් නෙමේ. එයා ජීවිතයේ වටිනාම දේවල් කැප කරල ලබා ගත්තු ජනප්‍රියතාවය නිසි ලැබෙන දේවල්.

මට අදාල කොට්ඨාසයේ නොවුනත් මට මුණ ගැහුනා නියම චරිත දෙකක්. දෙන්නම මැම්බර්ල. (මම කැමති උනාට ඒ දෙන්නම ඒ නමට කැමති නෑ. ඒ නිසා නිවැරදි කරන්නම්. එක්කෙනෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමෙක්; අනෙක් කෙනා තුමියක්). මන්ත්‍රීතුමා ඡන්දෙ ඉල්ලල නෑ. ඉල්ලන්න හදලත් නෑ. ඒ උනාට බැහැල වැඩ. කොටින්ම මිනිහා වැඩ කරන කෙනාවත් මිනිහ තරම් දඟලන්නේ නෑ. එයා වැඩ කරන්නේ තමන්ගේ සභාපතිතුමාට. සභාපතිතුමා දිනුවොත් උපසභාපති සභාපති වෙනවා. ඊළඟට මනාප මෙයාට. එතකොට එයා උපසභාපති.

මන්ත්‍රීතුමිය ඡන්දෙ ඉල්ලන්න දෙන්න කියල ඉල්ලුවා. දෙනවමයි කියල හිටියා. ඒත් අන්තිමට කැපිල. හේතුව ප්‍රසිද්ධ උනා. අනර්කලී මාතරට ඉල්ලුවානම් මෙයාට දෙන්න තිබුණා. ඒත් ගාල්ලට ආව නිසා දෙන්න විදිහක් නෑ; මොකද තවම නීතියෙන් කාන්තා නියෝජන ප්‍රතිශතය නියම කරල නෑ. ඒ නිසා දැන්ම වැඩිපුර ගෑනුන්ට දෙන්න බෑ. ඒ නිසා මේ මන්ත්‍රීතුමියට ටිකට් එක නෑ. රැස්වීමක දෙකක එක ළඟ වාඩිවෙලා ඉඳල ටිකක් යාළු උනාට පස්සෙ මමත් නිකමට ඇහුවා අනර්කලී නිසා කැපුනා නේද කියල. “මොන පිස්සුද මල්ලි, ලොක්කගෙ එකා ඉල්ලන නිසා මාව කැපුවේ. කාන්තා නියෝජනය නියම කරල නැත්නම් කී දෙනෙක් දැම්මහම මොකෝ. මුන්ට පිස්සු.“

සතියක් විතර අකමැති වැඩක් කරල ඇවිත් අද තමා නෙට් එකට ගියෙත්. වි-තැපෑලත් පිරිල. අන්තිමට දාපු ෆෝස්ට් එකට මේල් එකකින් උත්තරයකුත් එවල. ඒ ගැන හෙට කියන්නම්. දැන් නිදා ගන්නවා. හෙට පාන්දර ඇහැරෙන්න ඔනෙ. ප්‍රතිපල වලට සුභපතන්න තියෙනවානෙ.

Saturday 3 October 2009

පළාත් පාලන ආයතනවලට මෘදුකාංග මිලදී ගැනීම තහනම්...!

එඬේර යුගය, ගොවි යුගය හා තාක්‍ෂණ යුගය පසු කොට අද අප පැමිණ සිටින්නේ තොරතුරු තාක්ෂණ යුගයටයි. ලෝකයේ පමණක් නොව ශ්‍රී ලංකාවේද බොහෝ ආයතන තම කාර්යයන් පහසු කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගෙන ඇත. එසේම තව තවත් ආයතන තොරතුරු තාක්‍ෂණය හෙවත් පරිගනක ගත කිරීම් සිදු කෙරෙමින් පවතී.

එසේම සමහර පළාත් පාලන ආයතනද තම කාර්යයන් කාර්යක්‍ෂම කර ගැනීම සඳහා ඒවා පරිගණක ගත කොට ඇත. ඒ අනුව යමින් අනෙක් පළාත් පාලන ආයතනද පරිගණක මෘදුකාංග මිලදී ගැනීමට කටයුතු යොදමින් පවතිද්දී පළාත් පාලන දෙපාර්තමේනතුව විසින් ‘කිසිම පරිගණක මෘදුකාංගයක් මිලදී නොගන්නා‘ ලෙස උපදෙස් ලබා දී ඇත. මෙයට හේතුව ලෙස පළාත් පාලන කොමසාරිස් දක්වා ඇත්තේ පළාත් පාලන අමාත්‍යංශය මෘදුකාංග නොමිලේ ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති නිසා නව මෘදුකාංග මිලදී ගැනීම සුදුසු නොවන බවයි.

යමක් නොමිලේ ලබා දෙනවානම් එය නරක නැත. එහෙත් බලා බඩුවේ හිලක් ඇති බවත් අපි අසා ඇත්තෙමු. බාල බඩුවේ හිලක් නම් නිකම් දෙන බඩුවේ මොනවා තිබේද යන්න සැකය. එසේම තවත් කොපමණ කාලයක් ඒ සඳහා බලා සිටීමට සිදු වේවිද? එතෙක් අප ආයතනයේ කටයුතු මේ පවතින අකාර්යක්‍ෂම ක්‍රමයෙන්ම සිදු කළ යුතුද?

මේ ගැටළු සඳහා පැහැදිලි පිළිතුරු ලබා ගන්නේ කෙසේද? අපගේ ගරු සභාපතිතුමා පළාත් පාලන අමාත්‍යංශයෙන් විමසා තිබුණද පැහැදිලි පිළිතුරක් ලැබී තිබුණේ නැත. (එක්කෝ ගරු සභාපතිතුමාට තේරුණේ නැතුවා ද විය හැකිය). මීට වසරකට පමණ පෙර ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනේ මෙවැනිම තොරතුරු තාක්‍ෂණ විසඳුමක් ගැන සාකච්චාවක් ඇසුවා මතකය. එම ව්‍යාපෘතිය ද අතරමග නතර වී ඇතිවා වගේය. කිසිම තොරතුරක් ඊට පසු දැන ගන්නට නොලැබුණි.

සාමාන්‍යයෙන් ලංකාවේ ව්‍යාපෘති වලට සිදු වන්නේ ඔය සැන්තෑසියමය. එක් කාලයක් (අපි එන්නට කලින්) තිරසර නගර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇත. ප්‍රතිඵලයක් නැත. පවිත්‍ර ගංගා නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇත. පිරිසිදු වූ ගඟක් නැත. ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිනම් අනන්තවත් ක්‍රියාත්මක විය. ඒවාට පිංසිද්ද වෙන්නට ලෝකයේ විශාලම කෘතිම කන්ද ඉදි කිරීමේ ගෞරවය ලංකාවට ලබා ගැනීමට හැකි විය. එය තවමත් කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සුරක්‍ෂිතව පවතී. පළාත් පාලන ප්‍රතිසංස්කරණ නමින් විශාල වැඩසටහනක් ක්‍රියාත්මක විය. ලන්කාවේ පළාත් පාලනය තවමත් සුද්දා පටන් ගත් තැනමය. මේ තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතියටද ඒ දේම සිදු වී ඇතිවා වැනිය.

තොරතුරු තාක්‍ෂණය හා පරිගණක ගැන මටත් පොඩි උනන්දුවක් හා දැනුමක් තිබෙන නිසා මේ ගැන උනන්දු වී, දොඩන්ගොඩ නැමති පරිගණක විශේෂඥයෙක් විසින් නිපදවා ඇති, පළාත් පාලන ආයතන රාශියක්ම මිලදී ගෙන තිබෙන වරිපනම් හා අනෙකුත් සියලුම ගනුදෙනු හා ගබඩාකරණය වැනි සංකීර්ණ කාර්යයන් පහසුවෙන් ස්වයංක්‍රීයකරණය කළ හැකි පරිගණක වැඩසටහනක් පිළිබඳ මූලික සාකච්ඡා සිදු කළද ඉහත නියෝගය නිසා එය සිදු කිරීමට නොහැකි විය.

කවදා මේ ගල් යුගයෙන් මිදෙන්නට හැකි වේද?


ලයිට් දාගෙන ගජරාමෙට වැඩ..!

වීථි ආලෝක කිරීම පළාත් පාලන ආයතනයක් සතු වග කීමකි. වීථි ආලෝක කිරීම යනු පාර දිගේ විදුලි පහන් සවි කර ඒවා දැල්වීමය. වීථි ආලෝක කිරීමට හැරෙන්නට,
  • මාර්ග ඉදිකිරීම, 
  • මාර්ග නඩත්තු කිරීම, 
  • මාර්ග දෙපස කානු ඉදි කිරීම හා ඒවා පිරිසිදු කිරීම, 
  • කසල ඉවත් කිරීම, 
  • එළිමහන් ප්‍රදේශ පවත්වාගෙන යාම, 
  • ළමා උයන්, ක්‍රීඩා භූමි ආදිය පවත්වාගෙන යාම, 
  • සුසාන භූමි හා ආදාහනාගාර පවත්වාගෙන යාම, 
  • ප්‍රදේශයේ ඉදිකිරීම් ඇතුලු භෞතික සංවර්ධනය විධිමත් කිරීම, 
  • මහජන සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම, 
  • වැසිකිළි පහසුකම් ලබා දීම, 
  • කසළ ශෝධනය, 
  • වෙළඳ පොළ, 
  • තානායම්, 
  • නාන ස්ථාන, 
  • දුප්පත් ජනයා සඳහා නිවාස, 
ආදී අටානූවක් දේවල් පළාත් පාලන ආයතන විසින් සිදු කළ යුතුව ඇත. එහෙත් අපේ සහෝදර මන්ත්‍රීතුමන්ලාට (මැම්බර් කියනවාට බොහෝ දෙනා අකමැති නිසා මන්ත්‍රීතුමා කියමි.) වීථි පහන් සවි කිරීමට හා ඒවා අළුත්වැඩියා කිරීමට අමතරව වෙනත් වැඩක් නොමැත. එබැවින් එතුමන්ලා ඉදිරිපත් කරන යෝජනා බොහෝවිට වීථි පහන් සම්බන්ධව වේ. (දැන් දැන් තවත් ජනප්‍රිය වැඩක් අසු වී ඇත. ඒ සම්බන්ධව පසුව දිනක කථා කරමු.)

විදුලි පහනක් සවි කීරීම සඳහා අනෙක් සංවර්ධන හෝ සේවා කාර්යයක් සඳහා තරම් මුදලක් අවශ්‍ය නොවේ. එබැවින් තමන්ට වෙන් වන ප්‍රතිපාදනවලින් හෝ සභාව විසින් ඍජුවම වෙන් කරනු මුදල් වලින් අඩු මාර්ග ප්‍රමානයක් අලුත් වැඩිය කරනවාට වඩා වැඩි විදුලි පහන් ප්‍රමාණයක් සවි කිරීම වැඩි මනාප ප්‍රමාණයක් හිමි වීමට හේතුවන බවයි එතුමන්ලාගේ අදහස.

එබැවින් පාරක් පාරක් ගානේ, කණුවක් කණුවක් ගානේ ලයිට් එල්ලීමත්, ඒවා නිරන්තරයෙන් අලුත්වැඩියා කරමින් පවත්වාගෙන යාමත් තමන්ගේ ප්‍රමුඛ කාර්යය වශයෙන් සලකාගෙන කටයුතු කරති. ඒ සඳහා ජාතියක් ලෙස අප රටට දරන්නට සිදුවී ඇති අති විශාල වියදම ගැන සිතා බැලීමට තරම් එතුමන්ලාට උවමනාවක් නොමැත.

මෙම ධූරයට පත් වූ දා සිට මේ දක්වා එකම වීථි පහනක්වත් මා සවි කරවාගෙන නොමැත. මාගේ ගම් ප්‍රදේශයේ සෑම මාවතකම කණුවක් කණුවක් ගානේ තිබූ වීථි පහන් වලින් එක්ක හැර එකක් ක්‍රමානුකූලව ඉවත් කරවූයෙමි. උදෑසන 6 පසුවන තුරු දැල් වෙන පහන් අක්‍රිය වූ විට අලුත්වැඩියා නොකිරීමට වග බලා ගතිමි. තම නිවස අසල වීථි පහනක් සවිකර දෙන ලෙස ඉල්ලා සිටි සියලුම දෙනාට “වීථි පහන සවි කරන තුරු පාවිච්චි කිරීමට“ විදුලි පන්දම බැගින් මාගේ පුද්ගලික වියදමින් ලබා දුන්නෙමි.

ඊළඟ ඡන්දයේදී වැඩි මනාප ප්‍රමානයක් ලබා ගන්නේ (ඊළඟ ඡන්දයේදී මනාප  නැතිව යන බවට ආරංචියි. ඒ ගැන සොයා බලා ලියන්නම්) ලයිට් දාගෙන ගජරාමෙට වැඩ කරන අයද නැත්නම් ලයිට් නැතිව වැඩ කරනා මම කියා බලමු. මොනවද ඔට්ටු....?

Thursday 1 October 2009

පිස්සු බැල්ලියෝ..!

ගාල්ල නගරයේදී ඊයේ (30) උදේ පිස්සු බල්ලෙකු විසින් සපාකනු ලැබූ 14 දෙනෙකුට කරාපිටිය රෝහලේ දී එන්නත් ලබා දී ඇති බව අද පුවත් පතක වාර්තා කර තිබුණි. පිස්සු බල්ලන් පිළිබඳවත්, ගාල්ල ප්‍රදේශය පිළිබඳවත්, පිස්සු බැල්ලියන් පිළිබඳවත් නිතර කතා කරනා කාලයකි මේ.

එක් අයෙකුට විදිනු ලබන එක් එන්නතක් සඳහා රුපියල් 30,000ක් පමණ වියදම් වන බව පැවසූ පිස්සු බැල්ලියක් තමන් බැල්ලියන්ට වඳ සැත්කම නොමිලේ සිදු කරන බවත්, ඒ සඳහා වසරකට සායන තුනක් පමණ පවත්වන බවත්, ඒ එක් සායනයක දී සැත්කම් 10ක් වත් සිදු කරන බවත් පවසා තිබුණා.

ඉංග්‍රීසි අධිරාජ්‍ය කාලයේ ගෙන ආ අඥා පනතක් වන ජලභීතිකා රෝග පාලන අඥා පනතට අනුව පිස්සු බල්ලෙකු පිළිබඳව පොලීසියට දැන්වූ විට පොලිස් නිලධාරියා එම බල්ලාව විනාශ කිරීමට කටයුතු නොකල හොත් ඔහුව රුපියල් 100 ක දඩයකට යටත් කළ හැකි වෙනවා. 1948ට පෙර ගෙන ආ මෙම නීතිය අදටත් නොවෙනස්ව පවතිනවා.

පිස්සු බලු විෂබීජය ශරීර ගත වුවහොත් මරණයට මෙහා වෙනත් තෝරා ගැනීමක් නොමැති මිනිසුන්ගේ හිමිකම් හෙවත් මානව හිමිකම් අභිබවමින් බලුහිමිකම්  මතු වූයේ රට බල්ලාට ගොස් තිබූ යුගයක වුවත් බැල්ලී රට ගිය පසුද බල්ලෝ මැරීම තහනම් කිරීම සඳහා ජගත් සෞඛ්‍ය සංවිධානය පවා ගෙදර සිට පාලනය කළ හැකි (බැල්)ලියක් ඉදිරිපත් වූයේ තණකොල කන ඡන්දදායිකයින් ටිකත් ඉවර කර දැමීමේ අරමුණින් විය නොහැක්කේ, පිස්සු බල්ලා උන්ව පමණක් නොව කිසිම සමාවක් නොමැතිව අපවද සපා කන බව ඇයත් හොඳින් දන්නා නිසාය.

පිස්සු බල්ලන් ගැන මේ ලිපිය ලීවේ, ජලභීතිකා පාලන ආඥාපනත හා සුනඛයින් ලියාපදිංචි කිරීමේ අඥාපනත ඇතුලු බලු පනත් කිහිපයක බලය පළාත් පාලන ආයතන වෙත පැවරී ඇති බැවින් මේ ටික ලීවා මිස, කරදියේ මාළු වළඳමින් මිරිදියේ මාළු හිමිකම් ගැන දේශනා කළා සේ ගෝ ඝාතනයට බලපත්‍ර දෙමින් බලු ඝාතනය තහනම් කළේ ඇයිදැයි ප්‍රශ්ණ කිරීමට මෙය නොලීවේ, ගෙයි ගින්දර පිටට නොදිය යුතු නිසා හෙවත් මේ තීරණ දෙකම ගැන සාමූහික වග කීමෙන් මාද බැඳී සිටිනා බැවිනි.