Thursday 31 December 2009

අයවැය පැරුද්දීම !

මහරගම නගර සභාවේ අයවැය පරාදයි.
උකුවෙල ප්‍රදේශීය සභාවේ අයවැයත් පරාදයි.
දෙහිඅත්ත ප්‍රදේශීය සභාවේ අයවැයත් පරාදයි.

පළාත් පාලන ආයතනයක අයවැය කියන්නේ, සරලව කිව්වොත් එළඹෙන වර්ෂයේ එම අයතනයට ලැබේයැයි බලාපොරොත්තුවන අදායමත් වියදම් කිරීමට බලාපොරොත්තුවන මුදල් ප්‍රමාණයත් පිළිබඳ විස්තර. පළාත් පාලන ආයතනවල අයවැයට විරුද්ධවන සෑම මහජන නියෝජිතයෙක්ම විරුද්ධ වන්නේ අයවැය ඉදිරිපත් කරන සභාපතිට/නගරාධිපතිට විනා අයවැයේ අන්තර්ගතයට නොවේ. ඒ විරුද්ධ වුනත් සභාපති, පනතේ විධිවිධානයන්ට පිංසිද්ධ වෙන්න ඒ අයවැයම තමන්ට අභිමත පරිදි ක්‍රියාත්මක කරන බවත් මේ විරුද්ධ වන කණ්ඩායම් දන්නවා.

සාමූහික වගකීමක් නොමැති කණ්ඩායමකටවත් සාමූහිකව වැඩ කළ නොහැකි නායකයෙකුටවත් කවදාවත් සාර්ථකව ආයතනයක් ඉලක්කයක් කර ගෙන යා නොහැකියි.

මහරගම ගරු සභාපතිතුමිය (එතුමිය ගරු නගරාධිපතිතුමිය ලෙස භාවිතා කරණ බලවත්, එතුමිය තමාගේ ලුද්ගලික හිතවතෙක් වන අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපිට 'නගරාධිපති' ලෙස දිවුරුම් දුන් නිසා, පනතේ කෙසේ තිබුණත් ජනාධිපති බලතලවලට යටත්ව දිගටම 'ගරු නගරාධිපතිතුමිය' ලෙස භාවිතා කරන බව දැනගන්නට තිබේ.), උකුවෙල ගරු සභාපතිතුමා හා දෙහිඅත්තකණ්ඩියේ ගරු සභාපතිතුමා තම කණ්ඩායම් සමග සුහදව හා අවබෝධයෙන් යුතුව කටයුතු කරන බවක් පේන්නට නැත. මෙවැනි අසංවිධිත ක්‍රියාකලාපයන් නිසා ඒ ආයතනවලට අමතරව ආණ්ඩුවද අපහසුතාවයට පත්ව ඇති බව පක්ෂයේ පතය වී තිබේ.

ඇත්තටම වැරැද්ද කාගේද?

Sunday 27 December 2009

පක්ෂ මාරුවක්!

අපේ රටේ දේශපාලකයින්ට චරිත තුනක් රඟපාන්න වෙලා තියෙන්නේ. එකක් මහජන නියෝජිතකම. දෙක පක්ෂ දේශපාලනය. තුන තමන්ගේ අනාගතය. මහජන නියෝජිතයෙක් වශයෙන් කටයුතු කරනවානම් අපිට තීරණයක් ගැනීමේදී තමන් නියෝජනය කරන ජනතාවගෙන් විමසලා ඒ අයගේ මතය අනුව තීරණයක් ගන්න පුළුවන්.

ඒත් පක්ෂ දේශපාලනේ කරනකොට ජනතාව මොකක් කීවත් පක්ෂය කියන දේ අපිට කරන්න වෙනවා. නැත්නම් විනය කඩ කිරීම්. පක්ෂයෙන් නෙරපීම්. ප්‍රශ්න ගොඩයි.

ඔය සේරමත් හරි අපේ අනාගතය ගැන හිතන්න ගියාම ඇතිවන ගැටළු. අද ප්‍රදේශීය සභාවේ. හෙට? හෙටත් ප්‍රාදේශීය සභාවේ! පළාත් සභාවට, පාර්ලිමේන්තුවට යන්න තහනම්ද? කවුද ඒක තීරණය කරන්නේ. ජනතාව ද? පක්ෂය ද? මම ද?

ජනතාවත් එක්කම හිඳිමින්, ජනතාව සැබෑවටම නියෝජනය කරමින්, අමාරුවෙන් හරි පක්ෂය කියන, පක්ෂයේ තීරණත් ක්‍රියාත්මක කරමින්, ගමනක් යන්න හදනකොට මෙන්න පක්ෂෙන් අපේ පාර වහනවා. ආසන සංවිධායකයෙක් කොළඹින් එවනවා. ඒත් කමක් නෑ කියල බොහොම සුහද සිතින් අළුත් සංවිධායකතුමා පිළිගත්ත කියමුකො. අළුත් නීති රීති ගොඩයි. මෙච්චර කල් කරගෙන ආපු මහජන නියෝජිතකම නෙමේ දැන් කරන්න වෙලා තියෙන්නේ. සංවිධායක තුමාගේ නියෝජිතකම. මෙපමණ කලක් මම වැඩ කළේ මම නියෝජනය කරන කණ්ඩායමේ අව්‍යශතා, අදහස් උදහස් දැන හැඳින ගෙන, ඒ අයට සාධාරනයක් ඉෂ්ඨ වෙන විදිහට. ඒත් දැන් වැඩ කරන්න වෙලා තියෙන්නේ අළුත් සංවිධායක තුමාගේ අදහස් උදහස්වලට අනුව ඒ තුමා නියෝග කරන විදිහට. දිස්ත්‍රික් නායකත්වයට කීවහම කියන්නේ බලය රැක ගන්න පක්ෂයට ආදරේ සෑම දෙනෙක්ම කැප කිරීමක් කරන්න ඕනෙ කියල.

ඇත්ත. බලය අවශ්‍ය හැම දෙනෙක්ම ඒ බලය රැක ගන්න ඕනේ දෙයක් කැප කළාට කමක් නෑ. ඒත් මට කාගෙවත් බලයක් වෙනුවෙන් මාගේ බලාපොරොත්තු කැප කරන්න බෑ. මගේ බලාපොරොත්තුව ඔය බලතන්හාවට වඩා පුළුල් දෙයක්. මම මගේ ඉලක්කයට යා යුතුයි. ඒ සඳහා මම රැකගත යුත්තේ කුමක් ද යන්නයි මේ දවස්වල මාගේ ගැටළුව. මේ ගැන අපි තව ඉදිරියට සාකච්ඡා කරමු. මම හදිස් තීරණයක් ගන්නේ නෑ. කරන දෙයක් ජනතාවත් මගේ හිතවත්තුත් සමග සාකච්ඡා කරලයි ගන්නේ. ඒ නිසා මට මෙය කියවන හිතවත් ඔබලාගේ සහයෝගයත් අවශ්‍යයි. ඔබට හැ‍ඟෙන විදිහට ඔබේ අදහස් දක්වන්න.

Saturday 26 December 2009

දෙගිඩියාවෙන් දංගෙඩියට..!

මගේ කේන්දරේ ග්‍රහ මාරුවක් වෙන කාලයක් වගේ.
අස්ථාවර භාවයක් හිතට දැනෙන්නේ.
සිතත් චංචල වෙලා. මොනවා කරන්න ද හිතා ගන්න බෑ.
දෙගිඩියාවෙන් ඉන්නනේ මේ දවසවල.

මිනිසා දේශපාලන සත්වයෙක්. දේශපාලනයේ බල කඳවුරු කිහිපයක් තිබෙනවා. දේශපාලනික සත්වයා පය තබන කඳවුර තීරණය කරන්නේ කවුද? කොහොමද? ඒකත් උපතින්ම තීරණය වෙනවාද?

‍ඡන්ද වැඩවලට එළියට බැස්ස විටදී නම් වැඩිපුරම හමු වන්නේ උපතින්ම තමන්ගේ දේශපාලන කඳවුර තෝරා ගත් ඡන්ද දායකයෝ. "අපි ඉතින් උපතින්ම කොලනෙ සර්. තරහ වෙන්න එපා." "අපේ තාත්තලත් උපන් ගෙයි ශ්‍රී ලංකා කාරයෝ.  අපේ අත කැපුවත් එන්නේ නිල් ලේ මහත්තයෝ."

ඒ පමණක්ද? අපේ ගරු ජනාධිපතිතුමාත් පසුගිය වතාවේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට ඉදිපත් කළ ප්‍රභලම සාධකයක් වුණේ 'මම මේ පක්ෂය දාල ගිය මිනිහෙක් නෙමේ.' කියන එකයි.

ඔය හැම දෙනෙක්ම තමන්ගේ දේශපාලන කඳවුර තමන් නොදැනුවත්වම මාරු කරන අය බවයි මාගේ මතය. නායකයා ඉන්න කඳවුර තමා පක්ෂයේ කඳවුර. උදාමරණයක් ලෙස 'උපතින් කොළ' කට්ටිය කොහොම වුණත් 'කැපුවත් නිල්' කට්ටිය දන්නෙම නැතුව 1994 දී තමන්ගේ කඳවුර මාරු වෙලා. මොකද අපේ හිටපු නායිකාව හිටියේ වෙනත් කඳවුරක. අපි එයාව නායකයා කරගෙන ඉන්නකම් අපේ දේශපාලන කඳවුර ඒක.(තාම ඒ කඳවුරේම තමා)

ඊ ළඟ ප්‍රශ්නය! එකම කඳවුරේ පක්ෂ කිහිපයක් තියෙනවානම් අපි සිටිය යුත්තේ කුමණ පක්ෂයේද? සලකා බැලිය යුතු නිර්නායක මොනවාද? පක්ෂ මාරු කිරීම 'කැත වැඩක්ද?'. අපගේ අවසාන ඉලක්කය විය යුත්තේ කුමක්ද?.

කෙලින්නම කියන්නම්. මම දැන් දෙගිඩියාවෙන් ඉන්නේ. නිවැරදි තීරණය නොගත්තොත් දේශපාලනයේ දංගෙඩියට තමා යන්න වෙන්නේ!

වැඩි කාලයක් නෑ තීරණය ගන්න. ඒත් හදිස්සියට වැරදි තීරණයක් ගන්නත් බෑ. මොකද කියන්නේ.

Friday 11 December 2009

ජනරල්ගේ පෝස්ටර් ආරක්‍ෂාවට හමුදාව!

විපක්‍ෂය මැතිවරණ දූෂණ ගැන ආණ්ඩුවට චෝදනා කරද්දී ඒ අයගේ වැඩ මෙන්න.

පසුගිය දිනක එළිවෙන කොට මාගේ ප්‍රදේශයේ බොහෝ ස්ථානවල ජනරල් ෆොන්සේකා (ජනාධිපතිතුමාට) ආචාර කරනා ඡායාරූපයක් රැගත් පෝස්ටරයක් අලවා තිබුණි. එය ලංකාව පුරාම ඇලවූ එකක් බව කළ විමසීම් වලින් දැන ගන්නට ලැබුනි. පසුදා රාත්‍රියේ තමන්ගේ පෝස්ටරයක් ඇලවීමට ගිය අමතර පන්ති ගුරුවරයෙකුගේ කණ්ඩායමකට මෙන්ම ඡන්ද නීති ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරීන්ටද ඒ අසල පදිංචි රණවිරු පවුල්වල සමහරුන් තම කාර්යය ඉටුකර ගැනීමට ඉඩ දී නොමැත. ඔවුන් පවසා ඇත්තේ එම පෝස්ටර් ආරක්‍ෂා කර දෙන ලෙස තම දරුවන් තමන්ට දැනුම් දුන් බවයි.

සිදු වෙන්න යන්නේ කුමක්ද?

Tuesday 8 December 2009

මම අසරණ වෙලා වගේ හිතට දැනෙනවා! ... මගේ යාළුවනේ.....

තවත් නිදි නැති රාත්‍රියක් ගෙවිල ගියා. පැවරිච්චි රාජකාරි කප්පරක් කරන්න ඉතිරි වෙලා තියෙනවා, අද දවසෙත්. එත් මෙලෝ දෙයක් කරන්න හිත දෙන්නේ නෑ. දැන් දවස් කීයක් නම් මේ විදිහට ගෙවිල ගියාද? දැන් දවස් ගානක ඉඳන් මේ දුක මම විඳින්නේ. නෙට් එකට ගියෙවත්, මේල් බැළුවෙවත් නෑ දවස් ගානකින්.

ඇත්තම කියන්නම්. මට හිතා ගන්න බෑ ඔය කාටවත් මේකට, මට උදව් කරන්න පුළුවන් වෙයිද කියල.මේකයි කතන්දරේ. ඔක්කොම කියන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. පුළු පුළුවන් ටික කියන්නම්.

එයාට මම ආදරේ කරන්න පටන් ගත්තේ කවද්ද කියල නම් හරියටම කියන්න බෑ. මොකද අපි නෑයො නිසා මතක දා ඉඳන් දන්නවා. දෙන්නාගේ ම නොයෙක් ආකර්ශණීය දේවල් නිසා දෙන්නට දෙන්න කැමති වෙන්න ඇති. ආදරය කරන්න පටන් ගත්ත විදිහ - නැත්තම් මම ඔයාට ආදරෙයි වගේ දෙයක් කියල කෘතිමව පටන් ගත්ත අවස්ථාවක් නෑ. ඒත් ඇත්තටම අපි දෙන්න පනට පන.

එයා ලස්සනයි. ලස්සනට වඩා හරි ආකර්ශණීයයි. හරිම වචනේ ලියන්නෙ නෑ. මේක එයත් බලන නිසා. (එයා දන්නවා- මම කියල තියෙනවා, එයාට) ඒ ආකර්ශණීය බවම තමා මට හිතෙන්නේ මෙහෙම දෙයක් උනේ.

කොහොම හරි දේශපාලනේදි වත් හතුරෝ නැති මට දැන් ලොකුම හතුරෝ දෙන්නයි. ජීවිත තර්ජන නම් නෑ. ඒත් මම හරිම අමාරුවක වැටිල ඉන්නනෙ. අනිත් ලස්සනම වැඩේ මුන් දෙන්නම එයා වගේම මගේ නෑයො.

මම එයාට තැමති උනා වගේම අපේ පරම්පරාවේ තවත් පොරක් මෙයාට පෙරන්න පටන් ගත්තා. නෑකමට ඌ අපි දෙන්නටම පුතා වෙන්නෙ. ඒත් එයාගේ තාත්ත එහෙම ඌට තමා කැමති. එයාටනම් පෙන්නන්න බෑ. ගොඩක් විස්තර කියන්න ගියොත් මේක කියවන්න බැරි සටහනක් වෙයි. කොහොම හරි මට පාලනය කර ගන්න බැරි තත්වයට වැඩේ පත් වුණා. අන්තිමට එයාට ඌව කසාද බඳින්න වෙන තැනට වැඩේ පත්තු උණා.

මේ වෙලාවේ අපි දෙන්නගේ පිහිටට ආවා අපේ තවත් ඥාතියෙක්. නෑකමට අපේ සීයා වෙන්නෙ. ඒත් මට වඩා අවුරුදු 6 යි වයස. හැබැයි ඕනෙ ප්‍රශ්නෙකට විසඳුමක් හොයා ගන්න හරි දක්‍ෂයා. මගේ ඡන්ද වැඩ වලදිත් ගොඩක් උදව් කළා. විශේෂයෙන් ඇනෙන තැනකදී පිහිටට එන්නෙ මෙයා තමා. ඒ වගේ මේ වෙලාවෙදිත් අපේ පිහිටට ආවේ මේ සීයාම තමා.

කොහොම හරි දැන් වැඩේ ගොඩයි. දුෂ්ඨයා සීන් එකෙන් අයින් කර ගත්තා. සීයට පිං සිද්ද වෙන්න. හැබැයි එයාට ගෙදරින් යන්න උණා. අම්ම තාත්ත- විශේෂයෙන් තාත්ත තරහ උණා. ඒවනම් ඉතින් ගානක් නෑ. පොඩි එකෙක් චීස් බීස් ගානකොට ඔය විරසක මග ඇරේවි කියල තමා සීය කිව්වෙ. අන්තිමට දැන් එයා ඉන්නේ සීයාගේ ගෙදර.

දෙවන ජවනිකාව පටන් ගන්නේ එතැන් සිට. කොටින්ම කියනවා නම් දැන් සීය තමා දුෂ්ඨයා. අර දුෂ්ඨයාගෙන් එයාව බේරා ගත් සීයටලු දැන් එයා අයිති. වැඩේ කියන්නේ එයාගේ අම්මත් වැඩේට එක පයින්. අරූ හෙන බේබද්ද. ඒ ඇරෙන්න වෙන වෙන සින් කෝන් ටිකකුත් තියෙනවා. පාතාල වැඩ වගේ. ඉතින් ඒවගේ කෙනෙක්ගෙන් දුවව බේර ගත්ත මෙයාට තමා දුව ගැන තීරණ ගන්න අයිති කියල අම්ම කියනවා. හැබැයි එයා ඒවට කැමති නෑ. තවත් දෙයක්. මේ සීයට තවත් ජොයින්ට් එකක් තියෙනවා. එක් ගැන අපේ එක්කෙනා හොඳට දන්නවා. මටත් කීවෙ එයා. සීය ඒකිටත් පණලු. සීය කියන්නේ මෙයාව බඳින්න ඕනෙ කියල නෙමේලු. තව ටික කාලයක් සීයගේ ගෙදරට වෙලා ඉන්නලු. ඊට පස්සෙ සීය තීරණය කරන්නම්ලු කරන්නේ මොකක්ද කියල. ඉතින් පේන් තියෙන විදිහට අපිට දැන් තේරිලා තියෙන්නේ සීයා එන්නේ වෙන වැඩකට. ඕක මේගොල්ලන්ගෙ අම්මට තේරෙන්නේ නැති එකයි අවුල. දැන් දැන් සීයා එහෙන් මෙහෙන් අතපත ගාන්න  සෙට් වෙන්නවලු. විරුද්ධ වෙනකොට කියනවාලු අර නරුමයාගෙන් මෙයාව බේර ගත්ත නිසා සීයට අයිතියත් තියෙනවාලු මෙයාට ඔය වගේ දේවල් කරන්න.

දැන් සීය එයාගේ බාර කාරයාලු. ඒකට විරුද්ධ වෙන එක ඥාතිද්‍රෝහිකමක්ලු. නියම ඥාතිප්‍රේමියා සීයාගේ ඕනෙ කුපාඩි වැඩකට සහයෝගය දෙන කෙනාලු. අනේ මන්ද මට නම් පිස්සු හැදෙනවා. කරුමෙ කියන්නේ අපේ ගෙදරින් තියෙන විරෝදෙනෙ. නැත්නම් මෙලහකටත් මම ප්‍රශ්නෙ විසඳගෙන.

ඥාතිද්‍රෝහියෙක් වෙනවද? ඥාතිප්‍රෙමියෙක් වෙනවද? මොකද ඔයාලගේ අදහස. (ඔව් මේකෙ ඔක්කොම සිද්දිය නෑ. එකක් ඔක්කොම දේවල් කියන්නත් බෑ. අනික මට දැන් මේකට කොටන එක්ත් එපා වෙලා.)