Sunday 22 November 2009

ජනසභා ලේකම් < ප්‍රාදේශීය සභා ලේකම්

ජනසභා ලේකම් යනුවෙන් තනතුරක් ඇති කර එයට උපාධිධාරීන් බඳවා ගැනීමට යන වගක් ගැන පසුගිය දිනවල කථා කළෙමු. එම ප්‍රවෘතිය දුටු විට සිතුවේ ඔවුන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ගෝලයන් විය හැකි බවයි. එහෙත් පළාත් පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ සඳහන් එක් වගන්තියක් දුටු විට සිතුනේ ජනසභා ලේකම් සමාන වන්නේ බොහෝ දුරට ප්‍රාදේශීය සභා ලේකම්ට බවයි.

  • ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථර තුනකින් යුතු වූ ආණ්ඩුක්‍රමයක එක් ස්ථරයක් වශයෙන් ප්‍රාදේශීය ආණ්ඩුකරණයට ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබාදීම මෙම ප්‍රතිපත්තියේ මධ්‍යකාලීන අරමුණකි. ඒ සඳහා ප්‍රාදේශීය  පාලන ආයතන, පළාත් සභා හා මධ්‍යම රජය සමග සහයයෝගයෙන් ක්‍රියාකරන 'ස්වයං-පාලනයේ හවුල්කරුවන්ගේ' තත්වයේ ස්වාධීන ආයතන බවට පත් කිරීමට ක්‍රියා කරනු ලැබේ. මෙහි ලා මූලික ඉලක්කය වන්නේ, දිර්ඝ ඉතිහාසයක් ඇති ස්වයං-පාලනය පිළිබඳ දේශීය සංකල්පයක් වන 'ග්‍රාම රාජ්‍ය සංකල්පය' අනුව යමින්  වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින් බිහිවූ 'ජන සභාව' නම් වූ 'ගමේ ආණ්ඩුව' බලගැන්වීම හා ඒ අනුව සහභාගීත්ව ස්වයං-පළාත් පාලනය ශක්තිමත් කරවීමයි.“






Saturday 14 November 2009

උගත් ශ්‍රමය අපතේ

උපාධිය යනු රැකියවකට සුදුසුකමක් නොවේ. එහෙත් උපාධිධාරීන් යනු රටේ සිටිනා උගත්ම පිරිස වේ. ඕනෑම සමාජයක පැවැත්ම හා සංවර්ධනය සඳහා නිෂ්පාදන කාර්යය හොඳින් සිදුවිය යුතුය. වැඩි බරක්-කැපවීමක් ඒ සඳහා යෙදවිය යුතුය. රටේ ශක්තිමත්ම ශ්‍රම බලකාය ඒ සඳහා යෙදවිය යුතුය. එසේම සුපිරි දැනුම; එනම් උගත්ම ශ්‍රම බලකාය ඒ සඳහා යෙදවිය යුතුය. එහෙත් අද රටේ සිදු වන්නේ එය නොවේ. රටේ සිටිනා උගත්ම පිරිස සොයන්නේ කිසිදු නිෂ්පාදනයක් සිදු නොකෙරෙනා රාජ්‍ය අංශයේ රැකියාවකි. ඒ අයගේ ඡන්දය බලාගෙන අපේ ආණ්ඩුව කරන්නේද සෑම උපාධිධාරියෙකුටම රජයේ රැකියාවක් සාදා දීමයි.

අළුත්ම රැකියාව ‘ග්‍රාම ලේකම්‘ (ජනසභාලේකම්) කමයි. ගමකට තිදෙනෙක් හෝ සිව් දෙනෙක් දැනටමත් රාජ්‍ය නිලධාරීන් සිටිද්දී තවත් රාජ්‍ය නිලධාරියෙක් ගමට අවශ්‍යද? ඔහුට කරන්නට ඉතිරිව ඇත්තේ කුමක්ද? මෙවැනි නිලධාරියෙකුගෙන් නිපදවන දේ කුමක්ද? අවම වශයෙන් සම්පූර්ණවන යටතල පහසුකමවත් කුමක්ද?

නිරපරාදේ තවත් උපාධිධාරීන් 14,000 ක් නිශ්පාදන කාර්යයෙන් ඈත්ව රටට බරක් වීම පමණක් සිදුවනු ඇත. ජනසභා සංකල්පයද උඩුවටිකුරු කරමින් කිරීමට යන මේ අසාර්ථක කාර්යයට මාගේ විරෝධය ප්‍රකාශ කරමි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි!

අද රටේ දේශපාලනයේ කතා වෙන ප්‍රධාන මාතෘකා දෙකකි.
  1. සරත් ෆොන්සේකා පොදු ජනාධිපති අපේක්‍ෂකයා වීම
  2. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
මේ සංවාද දෙකේම අරමුණ ජනාධිපති මහින්ද රාජපක්‍ෂට පහර දීමයි.
සරත් ෆොන්සේකාට මහින්දව පරාජය කිරීමට හැකිද නොහැකිද යන්න වෙනම කාරණයකි. එහෙත් ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයද නැද්ද යන්න විශේෂයෙන් සාකච්ඡා කළ යුතු කරුණකි.

රටක යහපාලනය සඳහා එකිනෙකෙන් ස්වායත්ත ආයතන තුනක් අවශ්‍ය වේ. ඒවානම්
  1. විධායකය
  2. ව්‍යවස්ථාදායකය
  3. අධිකරණය
ලංකාවේ මෙම ආයතන තුන ස්වායත්ත බව බැලූ බැල්මට පෙනුනද, සංකල්පනාත්මකව පෙනුනද සැබැවින්ම ස්වායත්ත ආයතන නොවේ. බොහෝ අවස්ථාවලදී විධායකය විසින් අධිකරණය පාලනය කොට තිබේ. විධායකයේ වැදගත් කොටසක් නියෝජනය කරනා කැබිනට් මණ්ඩලය තෝරා ගන්නේ ව්‍යවස්ථාදායකයෙනි. මේ ලෙස බැලූ විට ලංකාවේ මෙම ආයතන තුන එකිනෙක මත රඳා පවතින තත්වයක් පෙන්නුම් කරයි. මෙම තත්වය සුභදායක නොවේ.

ඒ නිසා කළ යුත්තේ විධායකය හෝ එහි කොටසක් තෝරා ගැනීම ව්‍යවස්ථාදායකයෙන් නොකිරීමයි. මහජන ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිට අවශ්‍ය කැබිනට් මණ්ඩලය ඔහු කැමති කෙනෙකුගෙන් තෝරා ගැනීමට ඉඩ තිබිය යුතුය. එහෙත් එයට පාර්ලිමේන්තු හෝ පළාත් සභා නියෝජිතයින් ඇතුලත් නොවිය යුතුය. ඒසේම විධායකය ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව නීති පැනවීම ව්‍යවස්ථාදායකය මගින් කළ යුතුය. සියළුම කාර්යයන් සඳහා මුදල් අනුමත කිරීම ව්‍යවස්ථාදායකය කළ යුතුය.

Monday 9 November 2009

ඔබ තවමත් ‘පොලිස් බද්ද‘ ගෙවනවාද?

1805 දී පත්වූ මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා විසින් පොලිස් සේවයේ නඩත්තු වියදම පියවා ගැනීම සඳහා බද්දක් පනවන ලදී. වර්තමානයේදීද වරිපනම් බද්ද නමින් හඳුන්වනු ලබන මෙම බද්ද 1865 අංක 16 දරණ පොලිස් ආඥාපනත මගින් බලාත්මක කර ඇත. එම නීතිය තවමත් අක්‍රිය කර හෝ නිශේධ කර නොමැත.

අදද ලංකාවේ පළාත් පාලන ආයතනවල ප්‍රධානම ආදායම් ප්‍රභවයක් වී ඇත්තේ මෙම බද්දයි.
කිසිම සේවාවක් නොසපයා අය කර ගත හැකි බදු කිහිපයක්ම තිබෙන මුත් වරිපනම් බදු සේවාවක් සපයා අයකර ගත යුතු බද්දකි. ඔබ වෙසෙන්නේ නගර සභා හෝ මහ නගර සභා කොට්ඨාශයක නම්, කිසිම සේවාවක් නොසපයා ඔබගෙන් වරිපනම් බදු අය කර ඇත්නම් වහාම ඔබ පළාතේ පළාත් පාලන ඇමතිතුමා වෙත පැමිණිල්ලක ඉදිරිපත් කර සහනයක් ලබා ගන්න. එහෙත් ප්‍රාෙද්ශීය සභා බල ප්‍රදේශයකනම් ඔබට ඒ සහනය හිමි නොවේ.


Sunday 8 November 2009

මී ළඟ ජනාධිපති

වර්තමාන ජනාධිපතිතුමාගේ ධූර කාලය අවසන් වීමේ අවස්ථා දෙකක් තිබේ. එක නම් එළඹෙන ඡන්දයෙන් පරාජය වීමේ අවස්ථාවයි. දෙක නම් දෙවන වරටද ජයග්‍රහණය කර එම කාලයද අවසන් වූ විට එළඹෙන අවස්ථාවයි. මීට මාස කිහිපයකට පෙර නම් තවත් වසර 25කටම ජනාධිපතිකම එතුමාට වෙන් නොකළ කෙනෙක් නොසිටි තරම්ය. රනිල් පවා එසේ සිතුවාට සැක නැත. දකුණේ ඡන්දයෙන්  85%ක් ලබාගත් විට ජනාධිපතිකම අසීමිත වාර ගනනක් දැරීමට හැකිවන ලෙස ව්‍යවස්ථාව වෙනස් කරගන්නා අයුරු බොහෝ දෙනා සිතින් මවාගෙන සිටි බවට මොනවාද ඔට්ටු. එහෙත් අයෙකුට සුභ, අයෙකුට අසුභ ඒ සිහින සියල්ල ගසාගෙන ගිය සුනාමිය ආවේද දකුණේ ඡන්දය හරහාය.

අපේ ජනාධිපතිතුමා වාසනාව පෙරටු කරගත් දේශපාලකයෙකි. රනිල් අවාසනාව කරපින්නා ගත් දේශපාලකයෙකි. අවාසනාව සදහටම තිබුනද වාසනාව කොයි මොහොතේ ගිලිහී යා හැකිදැයි කිව නොහැක. රනිල්ගේ අවාසනාව එසේම තිබෙද්දී ජනාධිපතිතුමාගේ වාසනාව ගිලිහුනොත් එය තවත් කෙනෙකුගේ වාසනාව විය හැකිය.

ඒ වාසනාවන්තයා කවුරු විය හැකිද? මා අත්විඳි දේශපාලන අතීතයේ රාජ්‍ය බලය මාරු වූ සෑම වේලාවකම තීරණාත්මක සාධකය වූයේ මාධ්‍යයයි. (මාරු නොවූ අවස්ථාවල එයට බලපෑවේද මාධ්‍යයමයි. විශේෂයෙන් රනිල්ගේ අවාසනාවේ ලොකුම සාධකය මාධ්‍යයෙන් නොලැබුණූ සහයෝගයයි.) මෙවරද තීරණාත්මක සාධකය බවට මාධ්‍ය පත්වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. තනි අශ්වයා වෙතට තරඟයක් ගෙන ආවේ මාධ්‍යයි. පෙර ජනාධිපතිවරණ කාලයේ පවා  සරත් කෙනෙකු කරළියේ සිටි නමුත් සරත් පොන්සේකා කරළියට අවේ අහම්බෙනි. ඒ ගෙන ආවේද මාධ්‍යයි. අවාසනාවන්ත ලෙස රනිල්ට පහර දෙන දිවයින ඇතුළු සියළු මාධ්‍ය අද ජනරාල් ශක්තිමත් කර හමාරය.

මීළඟ ජනාධිපති කවුද? අද සියළු දෙනාගේ හද ගැහෙනා රාවය එයයි.

මට තිබෙනා ගැටළු එය නොවේ. මී ළඟ ජනාධිපතිට/රටේ නායකයාට ලැබෙණා ආණ්ඩුව කුමක් විය හැකිද? අපේ සභාවේ අපේ කණ්ඩායමේ සියළු දෙනා, පිටට කුමක් කීවත් හිතේ චකිතයෙන් සිටිනා ආකාරයට ජනරාල් දිනුවොත් ආණ්ඩුව යූ එන් පී වනු ඇත. ජනරාල් පරම්පරාවෙන් යූ එන් පී කාරයෙකු වුවත් රනිල්ගේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ඔහුට දිරවයිද? (ජනරාල් ඉල්ලා ඇත්තේ අධ්‍යාපනය හා සෞඛ්‍ය පමනක් බවයි ආරංචිය) අනෙක් අතට ජේ වී පියට රෙද්දක් ඇඳගෙන ඔය ආර්ථික ප්‍රතිපත්තිවලට අත ඉස්සිය හැකි වේද? අපේ ජනාධිපතිතුමා ඇතුළු සියළු දෙනා දන්නා පරිදි “රනිල්නෙ අපට තිබුනු ප්‍රශ්නෙ; දැන් අවුලක් නෑ, අපි කොහොමත් ඒ පැත්තෙනේ"  කියා අර 17 දෙනා (දැන් 16යි; කොහොමත් ජාතික සංගමය හදා ගෙන එහෙම සෙට් වෙන්නේ ඔය හූදුවට තමා) ජනරාල් සමග එක් වුනාට “ජනරාල් ගේන්න අපි තමා දරදිය ඇද්දේ, ඒ නිසා අපි කොහොමත් ජනරාල් එක්කයි" කියා එකතු විය හැකි හෙළ උරුමය, රනිල් උතුරට වැඩි බලතල දෙද්දී කෙසේ ඉවසා සිටින්නද?

අනිත් අතට ඔය කවුරු පිටපොට ගැහුවත් ජනාධිපතිතුමාගේ වාසනාව තවමත් තිබේනම් ඊළඟට එතුමාට ලැබෙනා ආණ්ඩුව කුමක් විය හැකිද? නන්දන ගුනතිලක, කමල් දේශප්‍රිය දක්වා මේ වන විට එකතු වී සිටිනා සියළු දෙනාටමද, ගල උඩ සටනක් වැනි එළඹෙන ජනාධිපතිවරනය ජය ගැනීම සඳහා කිසිදු කේවල් කිරීමකින් තොරව ඉල්ලන දෙයක් දීමට පොරොන්දු වී එක් කරගන්නා සියළු දෙනාටමද සංග්‍රහ නොකර, ඊරිසියාවට වගේ විමල් කියනා විදිහට කැබිනට එක 30ට 35ට අඩු කළොත් මගේ පළමු කියමන; ධූර කාලය අවසන් වන අවස්ථා ගනන දෙකයි කියපු එක වරදින්නට ඉඩ තිබේ. ලංකාවේ විධායක ජනාධිපති ඉතිහාසයේ දෝශාභියෝගයකින් පරාජයවූ පළමු ජනාධිපතිතුමා වීමේ අවාසනාවන්ත අවස්ථාව එළඹෙනු ඇත.

Saturday 7 November 2009

ඔබේ ප්‍රතිබිම්බය පාර්ලිමේන්තුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීලා, පළාත් සභා මන්ත්‍රීලා හා පළාත් පාලන ආයතන සභිකයෝ යනු රටේ වැසියන්ගේ නියෝජිතයෝය. (ජනාධිපති යනු නියෝජතයෙකු නොව, අපව පාලන කිරීම සඳහා අප විසින් තෝරා ගන්නා අයෙකි.) ජනාධිපති හැර මෙම සියළුම නියෝජිතයින්ගෙන් පොදුවේ පිළිබිඹු වන්නේ ඔවුන් නියෝජනය කරනා කණ්ඩායමේ පොදු ලක්ෂණයි. සමාජය හැසිරෙන්නේ කෙසේද, පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ එසේය.  පළාතේ හැසිරෙන්නේ කෙසේද, පළාත් සභාවේ හැසිරෙන්නේ එසේය. ගමේ හැසිරෙන්නේ කෙසේද, ප්‍රාදේශීය සභාවේ හැසිරෙන්නේ එසේය. ඔබගේ නියෝජිතයා මහජන මුදල් කාබාසිනියා කරයි නම්, ඔබත් එසේ කරන්නෙකු විය යුතුය. නො එසේනම් ඔබ ඔහුට ඔබගේ මනාපය නොදෙනු ඇත. ඔබගේ නියෝජිතයා මැරකම් කරයි නම්, ඔබත් එසේ කරන්නෙකු විය යුතුය. නො එසේනම් ඔබ ඔහුට ඔබගේ මනාපය නොදෙනු ඇත. ඔබගේ නියෝජිතයා දූෂණ කරයි නම්, ඔබත් එසේ කරන්නෙකු විය යුතුය. නො එසේනම් ඔබ ඔහුට ඔබගේ මනාපය නොදෙනු ඇත. ඔබගේ නියෝජිතයා හොරකම් කරයි නම්, ඔබත් එසේ කරන්නෙකු විය යුතුය. නො එසේනම් ඔබ ඔහුට ඔබගේ මනාපය නොදෙනු ඇත. ඔබගේ නියෝජිතයා රට විනාශ කරයි නම්, ඔබත් එසේ කරන්නෙකු විය යුතුය. නො එසේනම් ඔබ ඔහුට ඔබගේ මනාපය නොදෙනු ඇත.
මෙම තත්වයේ වෙනසක් ඔබ බලාපොරොත්තු වන්නේ නම්, පළමුව ඔබ වෙනස් වෙන්න. ඉන් පසුව ඔබව නියෝජනය කිරීමට සුදුසුම පුද්ගලයාට ඔබේ මනාපය දෙන්න.  එවිට ඔබට මෙසේ නොසිතෙනු ඇත.

Thursday 5 November 2009

රාජ්‍ය සේවකයින් සියළු දෙනාට විදේශ සංචාර

මහජන නියෝජිතයෙකු වීමේ හේතුවෙන් ජීවිතයේ ප්‍රථම වතාවට විදේශයකට යාමට හැකිවුණා. ඇත්තටම යන්න අවස්ථාව ලැබුණ වෙලාවේදීනම් ඒතරම් වැඩක් ඇති දෙයක් ලෙස හිතුනේ නෑ. නිකම් සීනි බෝල වැඩක් කියල හිතුවේ. ඒත් සංචාරයේ ටික දුරක් යද්දී තමා තේරුනේ මොන තරම් වැදගත් දෙයක්ද කියල.

ගෝලීයකරණය වෙලා ගෝලීය කරණය වෙලා කියල කෑ ගැහුවට අනෙක් රටවල සිදුවන දේවලින් කොච්චර අඩුවෙන්ද අපට දැනගන්න ලැබෙන්නේ. විශේෂයෙන් පාලකයින්, මහජන නියෝජිතයින් හා රාජ්‍ය සේවකයින්ට අනෙක් රටවල සිදුවන දේ ගැන අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි.