Sunday 28 March 2010

ඇත්තටම අද ජීවිත් වීම අපහසුද?

පසුගිය ෆෝස්ට් එකක කමෙන්ට් එකක මෙහෙම තිබුණා.
"  අන්න 11 වැනිදා අමිල සඳරුවන්ව ඔයලගෙ ගමට එහා පැත්තෙන් ගලන ගඟට දාලා...අපිට තැගි එපා.. ඔයාට පුළුවන් නම් ඔයාලගෙ පැත්තෙ ඉන්න දුප්පත් පැල්පත්(සමහරු මෙකට කියන්නෙ මුඩුක්කු කියලා) වල ඉන්න මිනිස්සුන්ගෙ ජිවන මට්ටම වැඩි දියුනු කරන්න මොනවා හරි දෙයක් කරන්න...  "

ඒක කියවපු මටත් එක පාරටම මේ කියන්නේ ඇත්ත කියල හිතුනා. කොටින්ම මට අමතක වුනා මම දැන් ආණ්ඩුපක්ෂයේ දේශපාලඥයෙක් නේද කියල. ඉතින් මමත් ඉක්මනට මෙහෙම රිප්ලයි එකක් දැම්ම.
"...සමාවෙන්න!
මට ඔබව හොඳින් තේරෙනවා.
නැවතත් මම ඔබෙන් සමාව ඉල්ලනවා. ඒ ප්‍රාදේශීය සභාවක තනි මෙම්බර් කෙනෙක් හැටියට නෙමේ. මහජනතාවගේ අවශ්‍යතා ඔවුන් වෙනුවෙන් කරල දෙන්නම් කියල මහජනතාවගේ නියෝජිතයන් හැටියට තේරී පත් වෙලා තමන්ට ඕනෙ තැනට ගිහාම, තම පරම්පරාවේ නියෝජිත‍යෝ බවට මාරු වෙලා තම පරම්පරවේ ඕනෑ එපාකම් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කටයුතු කරන දේශපාලකයින් ඉන්නා රටේ, තමන් නියෝජනය කරන්නනේ කාවද, තමන් වැඩ කළ යුත්තේ කාටද කියල තවමත් අමතක නොකරපු, ඒත් දේශපාලකයින්ගේ 'පරම්පරා පෝෂණය' නිසා ඉතා තදින් පීඩාවට පත්වූ ඔබතුමා ඇතුළු මහජනතාව විසින් පොදුවේ එකම නමින් හඳුන්වනු ලබන නිසා දැඩි හිත් වේදනාවට පත් වෙලා ඉන්න අවංක මහජන නි‍යෝජිතයෝ කිහිප දෙනා වෙනුවෙනුයි මම ඔබෙන් සමාව ඉල්ලන්නේ. "
ඒත් මේ දවස්වල අපේ වෘත්තිය වෙලා තියෙන්නේ තුනෙන් දෙකක බලයක් සහිත අපේ ආණ්ඩුවක් පත් කර ගැනීමට උපරිම අයුරින් කටයුතු කිරීම නිසා මටත් වැඩිපුර ඇසුරු කරන්න ලැබෙන්නේ ඉහළ මට්ටමේ දේශපාඥයෝ. ඉතින් මටත් ඔය දේවල් දිහා ඒ අය බලන විදිහට බලන්න පුළුවන්කම ලැබිල තියෙනවා. ඒ අනුව බලපුවහම තමා ඇත්ත තේරෙන්නෙ.
ඇත්තටම දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න අපහසුද? ජීවන වියදම ඔය තරම් ඉහලද? සාමාන්‍ය ආදායමක් තියෙන කෙනෙක්ට කාල ඇඳල ලස්සනට ඉන්න බැරිද? කන්න දෙන්න දෙයක් නෑ කියල ළමයි ගඟට වීසි කරන්න තරම් රට අහේනියට ගිහින්ද? මේව මොන අමූලික බොරුද? රජය අපහසුතාවයට පත් කරන්න විපක්ෂය හා කුමන්ත්‍රණකාරී බලවේග ගොතන පදනම් විරහිත චෝදනා බව නොතේරෙන්නේ කාටද? 2004-2005 කාලයේ පැවති මැතිවරණයකදී නළු නිළියන් යොදාගෙන සකස්කොට ප්‍රචාරය කළ කිරිපිටි ඇඩ් එක වගේ කවුරු හරි ගැහැණියකට සෑහෙන මුදලක් දී ළමයා ගඟට විසි කරවා රජයට විරුද්ධව ජනමතයක් ගොඩ නැගීමට ගත් අසාර්ථක උත්සාහයක් බව ඉදිරියේදී අණාවරණය විය හැකිය. එහි දෙවන ජවනිකාව පසුගිය දා හෝමාගම අධිකරණයේදී රඟ දක්වා තිබූ බව දැන ගන්නට ඇත. "ජීවත් කරවීමට අපහසු දරුවන් මරා නොදමා පොලිසියට භාර දෙන්න" යනුවෙන් පත්තරවල නිවේදන හා වාර්ථා පල කිරීම මෙම ද්වේශ සහගත කුමන්ත්‍රණවල තවත් මුහුණුවරකි.
ඔය කියන තරම් රටේ ජීවන තත්ත්වය අපහසුනම් මිනිසුන් එකිනෙකා මරා නොගන්නනේ මන්ද? ආහාර සඳහා මංකොල්ල නොකන්නේ මන්ද? පාරක් පාරක් ගානේ මිනිසුන් හිඟා නොකන්නේ මන්ද? ආහාර සඳහා යමක් සොයා ඒම සඳහා පිටත් කරන්නනේ නැතිව ලොකු පාසකට දරුවා ඇතුළත් කර ගැනීම සඳහා මිනිස්සු උසාවි ගානේ බඩගාන්නේ මොකද? කන්ඩ බොන්ඩ ඔය තරම් අපහසුනම් කෑමට මොනවා හෝ සොයා වෙහෙසෙන්නේ නැතිව ළමයා පහේ ශිෂ්‍යත්ව පන්තියට යවා පැය ගනන් පන්ති ගාව රස්තියාදු වන්නේ කෙසේද? අතේ පයේ හයි හත්තිය තියෙන උන් දෑතේ කර්මාන්තයක් කරල කීයක් හරි හොයාගෙන අසරන දෙමාපියන්ට කන්න ටිකක් හොයල දෙන්නේ නැතුව විශ්ව විද්‍යාලවල රස්තියාදු ගහන්නේ මොකද? ජීවන වියදම ඔය තරම් ඉහලනම් උදේ ඇහැරුණු මොහොතේ සිට නින්දට යන තුරු කෝල් කරන්නයි එස් එම් එස් යවන්නයි සල්ලි කොහෙන්ද? අඩුම ගානේ දවසට දෙපාරක්වත් ඔළුවේ ගාන්න ජෙල් ගන්න සල්ලි කොහෙන්ද? ගෑණු දරුවන්ට විතරක් අරන් දුන්න කරාබු පිරිමි ළමයින්ටත් අරන් දෙන්න අම්මලට සල්ලි කොහෙන්ද? අඩි දහයක් පයින් යන්නෙ නැතිව ත්‍රී වීල්වල යන්න සල්ලි කොහෙන්ද? නිකන් පෙන්නන ටීවී මදි වෙලා ඉන්දියාවේ අයිපීඑල් බලන්න සැටලයිට් ටීවී වලට ගෙවන්න සල්ලි කොහෙන්ද? රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කාරයන්ට මේව හංඟන්න අතපසු වෙලා වගේ.


නාමල් බේබි වගේ තමන් ප්‍රිය කරන ඡන්ද අපේක්ෂකයිනගේ විශාල රුව සහිත ස්ටිකර් මිලදී අරගෙන තමන්ගේ ත්‍රීවීල් එක සම්පූර්ණයෙන් වැහෙන්න අලවන්න ත්‍රීවීල් අයියලාට සල්ලි තියෙනවානම් තමන්ගේ ලමයාට කන්න ටිකක් දෙන්න බැරි මොකද? අනික් අතට ජීවන වියදම ඔච්චර වැඩිනම් කිසිම අමාත්‍යංශයක් හෝ කිසිම රාජ්‍ය ආයතනයක නිලතලයක් නැතිව මන්ත්‍රී වැටුපෙන් පමණක් දරු පවුලක් නඩත්තු කර ඉතිරි කර ගත් මුදලින් මුළු දිස්ත්‍රික්කයම වැහෙන්න පෝස්ටර් කටවුට් ගහන්න විමල්ට පුළුවන් වුනේ කොහොමද? තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ ටියුෂන් පන්ති රට ජාතිය වෙනුවෙන් කැප කළ බන්දුල ඇමතිතුමා දවස ගානේ පත්තර පිටු පිරෙන්න දැන්වීම් දානේ කොහොමද? 

සතියකට දෙතුන් දෙනා ‍බැගින් කෝටිපතියන් බිහිවන රටේ ස්විප් විකුණණ කෙනෙක් තමන්ගේ වාසනාව උරගා බලන්න අඩුම ගානේ එක ස්විප් ටිකට් එකක්වත් ඉතිරි කර ගන්නවානම් ගෑනිට ළමයා ගඟට විසි කරන්න වෙන එකක් නැත.

ඇත්තටම ජීවන වියදම කියන්නේ මොකක්ද කියා දැන ගැනීමට සියළු දෙනා වරින් වර ඇමෙරිකාව ඉතාලිය ජපානය වගේ රටවල් වල සංචාරය කර පැමිණියොත් හොඳය. එතෙක් ඔය රාජ්‍ය විරෝධි කුමන්ත්‍රනවල හවුල් කාරයන් නොවී අද රටේ ඇති දැවෙන ප්‍රශ්ණය වන මනාප ක්‍රමයට තිත තැබීම සඳහා තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බුද්ධිමත් තීරණයක් ගෙන 8 වෙනිදා උදේම අපට ඡන්දය ලබා දෙන ලෙසත්, උගත් බුද්ධිමත්, තැම්පත්, විනය ගරුක, ආචාරශීලී, තරුණ, පරිනත, අත්දැකීම් බහුල, හොඳ පුවල් පසුබිමක් ඇති, කීර්තිමත්, කෘතහස්ත, පළපුරුදු, ඔබේ කොට්ඨාශය නියෝජනය කරන, පක්ෂය පාව නොදුන්, පරිසර හිතකාමී ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වූ, මැතිවරණ කටයුතු සඳහා මත්පැන් භාවිතා නොකළ, මනාප සඳහා එකිනෙකා ඇන කොටා නොගත්, රට ආගම ජාතිය පක්ෂය තමන්ගේ කම වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කළ, තම පාසල වෙනුවෙන් කටයුතු කිරීමට ආදිශිෂ්‍ය සංගමයට උදව් උපකාර කළ, ජන දුක හඳුනන, ගැමි සුවඳ හඳුනන, වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිද ගිය, රටට ජත්‍යන්තර කීර්තියක් ගෙන ඒමට කටයුතු කළ, ජනකාන්ත, අපේක්ෂකයින් තුන් දෙනෙකුට ඔබගේ මනාපය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. එහිදී කණ්ඩායම් නායකයාට එක් මනාපයක් ලබා දී වාර්තාගත වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට දායක වන ලෙසත්, ඔබ දිස්ත්‍රික් ලැයිස්තුවේ සිටින අනෙක් ජනප්‍රියම අපේක්ෂකයින් දෙදෙනාටත් මනාපය බැගින් ලබා දීමටත් අමතක කරන්න එපා.





Friday 19 March 2010

ඇමති මණ්ඩලය තෝරා තෑගි දිනා ගන්න!

මෙන්න සිංහල බ්ලොග් කියවන අයට සහභාගි විය හැකි තරඟයක්. නෑ තරඟ දෙකක් තියෙනවා.

ලබන මාසේ පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව පත් කරන කැබිනට් මණ්ඩලය 35 ට සීමා කරනවා කියල තියෙනවා. විමල් වීරවංශ මැතිතුමාත් කියන නිසා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ දවස්වල ජනාධිපති ලේකම් තුමා තවත් දෙන්නෙක් එක්ක ඇමති තනතුරු 35ට ගොනු කරනවා කියලයි ආරංචි. ඒවා හරියටම මොනවද කියල කියන් බැරි වුනත් සාමාන්‍යයෙන් තිබිය හැකි මේවයි කියල හිතා ගන්න පුළුවන්නෙ. ඉතින් ඔබට කරන්න තියෙන්නේ ඇමති තනතුරයි ඒ ඇමති තනතුරට පත්වීමට ඉඩ තියෙන ඇමති තුමා කවුද කියලයි නම් කරන එක. කැමති ඇමති තනතුරු ගනනකට නම් යෝජනා කරන්න පුළුවන් ( ආ... උපරිම 35යි. නැත්නම් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ලෙස තේරුම් ගනීවි). වැඩිම ඇමති තනතුරු ගනනක් නිවැරදිව සඳහන් කරන්නා ජයග්‍රාහකයා වෙනවා. කීප වරක් යෝජනා ඉදිරිපත් කරන්නත් පුළුවන්. යෝජනා වෙනස් කරන්නත් පුළුවන්. අවසන් යෝජනාව පමණක් පිළිගන්නා නිසා කලින් කළ ‍යෝජනාවන් සමගම අළුත් නම් එකතු කරන්න. සමාන පිළිතුරු තිබුනොත් මොකද කරන්නේ. හරි මෙහෙම කරමු. ඇමතිවරුන්ට අමතරව නියෝජ්‍ය ඇමතිවරුන්වත් නම් කරන්න. සමාන ඇමතිවරු ප්‍රමාණයක් නිවැරදිව නම් කරල තිබෙන අයගෙන් වැඩිම නියෝජ්‍ය ඇමතිවරු සංඛ්‍යාවක් නිවැරදිව නම් කරල තියෙන කෙනාව තෝර ගනිමු. ඒකත් සමාන උනොත් මොකද කරන්නෙ. කලානයකවත් නම් කරන්න. සමාන පිළිතුරු දීල තියෙන අයගෙන් නිවැරදිව කතානායකතුමා නම් කළ කෙනා දිනුම්. ඒකත් සමාන උනොත් සියළු දෙනාටම තෑගි දෙන්නම්!.

පළමු තරඟය ඒක. දෙවෙනි තරඟය, මාගේ අනන්‍යතාවය හෙළි නොවී තරඟයේ ජයග්‍රාහකයාට දිය යුතු සුදුසුම තෑග්ග නම් කිරීම හා එය ලබා දෙන්න සුදුසුම ආකාරය නම් කිරීම. (මම අවංකවම තෑග්ගක් දෙන්න සූදානම්; එත් මට තවම හිතා ගන්න බැරි උනා කොහොමද තෑග්ගක් දෙන්නෙ මාව හෙළි නොවී කියල.) මෙම තරඟය සඳහා තෑග්ග තීරණය කරන්නේ පළමු තරඟයේ තෑග්ගේ මිල අනුව. මට දරා ගන්න පුළුවන් වෙන්නත් එපෑ.

හරි. වැඩේ ස්ථිරයි. අප්‍රියෙල් 8 රාත්‍රී 12ට තරඟය අවසන් වෙනවා. (ඊට පසුව ඇමති මණ්ඩලය පත් කරන තුරු කැමතිනම් නම් කිරීම් කරන්න පුළුවන්. ඒත් තරඟයට ඇතුළත් කර ගන්නේ නෑ.) අවසන් තීරණය මෙම්බර්.කොම් සතුයි. ඔබලාගේ ප්‍රතිචාර කමෙන්ට් ලෙස දක්වන්න. වරින් වර ඒවා පෝස්ට් ලෙස ප්‍රකාශයට පත් කරන්නම්. අවසානයේ සියළුම යෝජනා එක් පෝස්ට් එකක දාන්නම්.