Friday 29 January 2010

විශ්මයජනක ජයග්‍රහණයක්....!

නොයෙක් ආලවට්ටම් අටුවා ටිප්පනි දමා ලිව්වත්, කෙලින්ම කිව්වත් සිදු වී ඇත්තේ එක දෙයකි. එනම් මේ තුන් ලෝකයේ කිහිප දෙනෙකු පමණක් දැනසිට, අපේ ජනාධිපතිතුමාත් මාත් ඇතුළු අතිමහත් බහුතරයක්  පාක්ෂිකයිනුත්,  මහජනතාවත් බලාපොරොත්තු නොවූ විශ්මයජනක ජයග්‍රහණයක් හිමිව ඇත. ර‍ටේ ජනතාව මේතරම් ප්‍රමාණයක් අපට ඡන්දය දෙන බවට විශ්වාසයක් තිබුණානම් අප කිසිකෙනෙකුට මේතරම් 'මැරෙන්නට' අවශ්‍ය නැත. ජනාධිපතිතුමා දිනවීමට වැඩ කළ කවුරුත් ඒ තරම් වෙහෙසුනේ මෙය ආරම්භයේ සිටම අපට 'ගල උඩ සටනක්' සේ පෙනුන බැවිනි. කෙසේ හෝ අවසානයේ අප ලබා තිබෙන්නේ ඉතාමත් විශ්මයජනක ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණයත් සමග අපට උගත හැකි දේ බොහෝය.

ඒවා කිහිපයක් මෙසේය.
  • මහජන මතය ගලනා ගඟක් වැනිය.
  • ආරම්භයේ පිරිසිදුය. ඉතා පටුය. වේගය වැඩිය. හඬ වැඩිය.
  • ගඟට තවත් දේ එක්වන්නා සේ මහජන මතයටද තවත් දේ එක්වේ.
  • ටිකක් දුර ගලද්දී ගඟ අපිරිසිදු වන්නා සේ මහජන මතයද ටිකෙන් ටික දූෂණය වේ.
  • අවසානය වෙද්දී අපිරිසිදු වේ. පුළුල් වේ. වේගය අඩු වේ. හඬ නැතිවේ. 
  • ගඟ හරස් කර වේල්ලක් බැඳ වෙනස් දිසාවකට ගෙන යා හැකිවන්නා සේ මහජන මතයද ඕනෑම දිසාවකට හැරවිය හැකිය. 
  • ගඟ හරස් කොට විදුලි බලය නිපදවන්නා සේ මහජන මතය හරස් කොට නොයෙක් බලයන් උත්පාදනය කර ගත හැකිය.
  • ඒ බලය ඕනෑම දෙයකට යොදා ගත හැකිය.
ඒ එක් පැත්තකි. තවත් දේ අපට උගත හැකිය.
  • මේ ලෝකයේ කරන්නට බැරි දෙයක් නොමැත.
  • 'මහජන නියෝජිතයා' යනු සංකල්පයක් නොව වෘත්තියකි.
  • 'හොඳ' තීරණය කරන්නේ බහුතර නොව බලය ඇති අයය.
  • කළ යුත්තේ බලයට එරෙහිව යාම නොව බලයෙන් වැඩක් ගැනීමය.
  • 'අගයන්' (Values) තම සංස්කෘතියට අනන්‍යවූ දේවල් විය යුතුය. (උදාහරණයක් ලෙස, සෝමාලියානු සංස්කෘතියට අනුව යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට නම් කාන්තාව තම ජනේන්ද්‍රයේ භගමනිය කපා ඉවත් කරවා ගත යුතුය. ඒ සෝමාලියානු සංස්කෘතියේ 'අගයයන්'ය. -වාරිස් ඩයරිගේ Desert Flower)
  • 'වගවීම', 'යහපාලනය', 'ප්‍රජාතන්ත්‍රවාදය', 'විනිවිදභාවය', 'සමානාත්මතාවය', 'භාෂණ නිදහස', 'තොරතුරු දැනගැනීමේ අයිතිය', 'නීතීන්ට යටත් බව', 'ප්‍රකාශිත නීතීන් යටතේ පමණක් පාලනය විය යුතු බව' ආදී වූ, බාහිර සංස්කෘතීන්ගෙන් වැළඳ ගෙන හිස් මුදුනින් වන්දනාමාන කරනා 'අගයන්' (Values) සිංහල සංස්කෘතික ලක්ෂණ නොවන බව වටහා ගත යුතුය.
  • කාළිංඟ මාග හා යුරෝපීය ජාතීන් විසින් සැලසුම් සහගත ලෙස සිංහල අපගේ ජාන විකෘති කළ ද, වසර 2500ක ලිඛිත ඉතිහාසයටත් ඈතට දිවෙන වසර 7000 ක් පමණ කාලයක සිට පැවත එන රාජපාක්ෂිකත්වය වැනි උතුම් ගතිගුණ අපගේ ජානවල තවමත් ඉතිරිව පවතී.
 අංකුර දේශපාලඥ්ඥයන් ලෙස ලාබාල අපට උගත හැකි දේ.
  • ****** ***** ***** බව.
  • ****** ******** ******* බව.
  • ****** ******* ******* ********** බව.
  • පවත්නා තත්වය හරියට අවබෝධ කර නොගෙන කටයුතු කළොත් විශ්මයජනය අවසානයක් දැකිය හැකි බව.
  • යන්නේ කොහෙද ඇසූ විට මල්ලේ පොල් කියනවාටත් වඩා පොල්ලලේ මල් කීම වඩාත් ආරක්ෂිත බව.
  • ඕනෑවට වඩා වැඩි පණ්ඩිතකම්වලට නොගොස් පක්ෂ සාමාජිකත්වයත්, මෙම්බර්කමත්, ජීවිතයත් බේරාගෙන සුදුසු තැනක් හා අවස්ථාවක් බලා ගඟ හරහා වේල්ලක් බැඳ බලයක් උත්පාදය කොට ගෙන අවශ්‍ය වැඩක් කරගත යුතු බව.

11 comments:

  1. අගයන්' (Values) තම සංස්කෘතියට අනන්‍යවූ දේවල් විය යුතුය. (උදාහරණයක් ලෙස, සෝමාලියානු සංස්කෘතියට අනුව යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට නම් කාන්තාව තම ජනේන්ද්‍රයේ භගමනිය කපා ඉවත් කරවා ගත යුතුය. ඒ සෝමාලියානු සංස්කෘතියේ 'අගයයන්'ය. -වාරිස් ඩයරිගේ Desert Flower)

    කරුණාකර වාරිස් ඩයිරි ව විකෘති කරන්න එපා. ඇගේ කෘතිය කියවන්න.

    තමුන්ගෙ වාසියට ඕනැ දෙයක් අර්ථ ගන්නවන තවත් එක දේශපාලයෙක් පමණයි ඔබත්.

    ReplyDelete
  2. මිනී මස් කෑම සංස්ඛෘතියකට අදාල නම් එයද ඔබට අනුව හොඳය.

    තලේබාන් වරු ද හොදය . මොකද ඒ අයගේ සංස්කෘතික අගයන් ඒ ආකාරය, බාමියන් බුද්ධ ප්‍රතිමා පවා විනාශ කල එකේ වැරැද්දක් නැත.

    ReplyDelete
  3. කදිමයි.
    අද ලංකාවේ දේශපාලනය කියල අදහස් කරන දේ ගැන හරි පැහැදිලි චිත්‍රයක් මෙතැන තියෙනවා.

    රටකට පාලකයන් ලැබෙන්නේ ඒ රටේ ඉන්නා මිනිස්සුන්ගේ හැටියටලු.

    අමන කම ප්‍රදර්ශනය කරන්න එපා.
    politics කියන්නේ පාහර කම් කරන එක නෙමෙයි.

    ReplyDelete
  4. මෙන්න බොලේ හිතන්නට පුළුවන් දේශපාලයෙක්. මගේ සතුට ඒ ගැන. තර්කානුකූල අදහසකි.

    ඇත්තටම ඔබ වෙන්ට මන්තිරි කෙනෙකි, වෙන්ට ඇමති කෙනෙකි.

    අද ඔබේ නිරවුල් සිතුවිලි ධාරාව, ක්‍රම ක්‍රමයෙන් ගලාගෙන ගොස් ඉදිරි කාලයේ දී ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් වෙන කොට කොතරම් ජරා වී තිබෙනු ඇද්ද?

    ඒ ගැනත් සිතන්න.

    මෙය අපහාසයෙන් ලියුවක් නොවේ.

    අනේවාසික.

    ReplyDelete
  5. උඹ නම් සිරාම නොට්ටිගේ පුතෙක් බං....උඹෙ තාත්තා ලංකාවේ දේශපාලනයටම ගැලපෙන එකෙක් හදලා තියෙන්නේ.

    ReplyDelete
  6. රාජද්‍රෝහියා29 January 2010 at 13:26

    "..රාජපාක්ෂිකත්වය වැනි උතුම් ගතිගුණ අපගේ ජානවල තවමත් ඉතිරිව පවතී...."

    මොකක්ද මේ කතාවෙ තේරුම?
    දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයිද?
    රාජපාක්ෂික වුනාම ක්‍රියාවට නැගෙන්නෙ එක් පුද්ගලයෙකුගේ මතයක් විතරයි. ඒක හොඳ දෙයක්ද? විරුද්ධ මත නිසා වැරදි දේවල් කිරීම වැලැක්වීමේ ප්‍රවණතාවක් තියෙනවා නේද? මහලොකුවට කෑගැහුවේ ජෙනරල් ආවොත් ඉඩි-අමීන් වගේ ඒකාධිපති පාලකයෙක් වෙයි කියල නේද? දැන් එහෙනං මේ මොන මගුලක්ද කියන්නෙ?

    ඉස්සර රජවරු තමන්ගේ ඇමතිලගෙත් හිසගසාදාපු බව මතක නැතුව ඇති. මේ රජතුමාත් තමුන්නාන්සෙව අල්ල හිරේ විලංගුවෙ දැම්මොත් ආඩම්බරෙන් ඔය 'රාජපාක්ෂික' කතාව එදාටත් කියනවද? :D

    මහත්තයා, මහජන නියෝජිතයෙක් උනාට කමක් නෑ, ජෝකර් කෙනෙක් වෙන්න එපා.

    ReplyDelete
  7. නිදහස්-රටක්29 January 2010 at 14:08

    මන්ත්‍රීතුමනි,

    රජ පාලනයක් සහිත සමාජයක නිදහස් සිතුවිලි බිහි වෙන්නේ නෑ. ලාංකීය සමාජය මෑතක් වන තුරුම රජුන් විසින් පාලනය කර, ඉන් අනතුරුව ඊටම නොදෙවෙනි වූ යටත් විජිතවාදීන් විසින් සෑහෙන කලක් පාලනය කල නිසා තමයි බටහිර ජනිත වූ නිදහස් සිතුවිලි (අලුත් දැනුම) අපේ මිනිසුන්ගේ ඔලු තුලට එන්න ප්‍රමාද වුනේ.

    මේ නිසා තමයි අද ලෝකය පුරාවටම වැදගත් නිදහස් සංකල්ප ලෙස ගන්නා 'වගවීම', 'යහපාලනය', 'ප්‍රජාතන්ත්‍රවාදය', 'විනිවිදභාවය', 'සමානාත්මතාවය', 'භාෂණ නිදහස', 'තොරතුරු දැනගැනීමේ අයිතිය', 'නීතීන්ට යටත් බව', 'ප්‍රකාශිත නීතීන් යටතේ පමණක් පාලනය විය යුතු බව' වැනි සංකල්ප ලංකාවට ආගන්තුක වුනේ.

    ඔබේ මතය වී ඇත්තේ ඒවා සිංහල සංස්කෘතියේ අංග නොවන නිසා ඒවා පිලිපැදීම අවශ්‍ය නොවන බවයි. මට ඇසීමට ඇත්තේ එකම ප්‍රශ්නයකි. මේ මැතිවරණයේදී ඔබතුමාගේ පාර්ශ්වය පරාජයට පත් වූවා නම්, පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සිටියා නම්, ඔබතුමා මේ මතයම දරනවාද? එදාට ඔබේ භාෂණයේ නිදහස අහිමි වී නම් ඔබ ඊට කැමතිද?

    බලය ලැබුනු විට හැමෝටම ඔහොම හිතෙනවා. නමුත් තරුණ මන්ත්‍රීවරයෙක් ලෙස ඊට වඩා පුලුල් විදියට හිතුවොත් හොඳයි. නිදහස් සංකල්ප නැතුව අයාලේ යන්න මේක ම්ලෙච්ඡ ගෝත්‍රික සමාජයක් නෙමෙයි. හැදුනු මිනිසුන් ඉන්න සමාජයක්.

    මට පුදුමයි මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔබ ඔය වගේ ආකල්පයක් දැරීම ගැන. මින් ගම්‍ය වෙන්නේ අද රට කරන නායකයන් සියලු දෙනා ඔයිට සමාන මතයක් දරන බවද?

    ReplyDelete
  8. @for all those who commented

    මට නම් හිතෙන්නේ ගොඩාක් දෙනෙකුට මේ පොස්ට් එකේ තියෙන තියුණු උපහාසය තේරුම් ගන්න බැරිවෙලා තියෙනවා

    ReplyDelete
  9. ##මට නම් හිතෙන්නේ ගොඩාක් දෙනෙකුට මේ පොස්ට් එකේ තියෙන තියුණු උපහාසය තේරුම් ගන්න බැරිවෙලා තියෙනවා##


    attatama matath hitenne ehemai...

    ReplyDelete
  10. "ඕනෑවට වඩා වැඩි පණ්ඩිතකම්වලට නොගොස් පක්ෂ සාමාජිකත්වයත්, මෙම්බර්කමත්, ජීවිතයත් බේරාගෙන සුදුසු තැනක් හා අවස්ථාවක් බලා ගඟ හරහා වේල්ලක් බැඳ බලයක් උත්පාදය කොට ගෙන අවශ්‍ය වැඩක් කරගත යුතු බව."

    You have not done that, instead, you are attacking the present government/people!

    ReplyDelete
  11. ෆොන්සේකා වේල්ල බැන්දෙ වැරදි වෙලාවෙද ?

    ReplyDelete