Saturday 3 October 2009

පළාත් පාලන ආයතනවලට මෘදුකාංග මිලදී ගැනීම තහනම්...!

එඬේර යුගය, ගොවි යුගය හා තාක්‍ෂණ යුගය පසු කොට අද අප පැමිණ සිටින්නේ තොරතුරු තාක්ෂණ යුගයටයි. ලෝකයේ පමණක් නොව ශ්‍රී ලංකාවේද බොහෝ ආයතන තම කාර්යයන් පහසු කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගෙන ඇත. එසේම තව තවත් ආයතන තොරතුරු තාක්‍ෂණය හෙවත් පරිගනක ගත කිරීම් සිදු කෙරෙමින් පවතී.

එසේම සමහර පළාත් පාලන ආයතනද තම කාර්යයන් කාර්යක්‍ෂම කර ගැනීම සඳහා ඒවා පරිගණක ගත කොට ඇත. ඒ අනුව යමින් අනෙක් පළාත් පාලන ආයතනද පරිගණක මෘදුකාංග මිලදී ගැනීමට කටයුතු යොදමින් පවතිද්දී පළාත් පාලන දෙපාර්තමේනතුව විසින් ‘කිසිම පරිගණක මෘදුකාංගයක් මිලදී නොගන්නා‘ ලෙස උපදෙස් ලබා දී ඇත. මෙයට හේතුව ලෙස පළාත් පාලන කොමසාරිස් දක්වා ඇත්තේ පළාත් පාලන අමාත්‍යංශය මෘදුකාංග නොමිලේ ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති නිසා නව මෘදුකාංග මිලදී ගැනීම සුදුසු නොවන බවයි.

යමක් නොමිලේ ලබා දෙනවානම් එය නරක නැත. එහෙත් බලා බඩුවේ හිලක් ඇති බවත් අපි අසා ඇත්තෙමු. බාල බඩුවේ හිලක් නම් නිකම් දෙන බඩුවේ මොනවා තිබේද යන්න සැකය. එසේම තවත් කොපමණ කාලයක් ඒ සඳහා බලා සිටීමට සිදු වේවිද? එතෙක් අප ආයතනයේ කටයුතු මේ පවතින අකාර්යක්‍ෂම ක්‍රමයෙන්ම සිදු කළ යුතුද?

මේ ගැටළු සඳහා පැහැදිලි පිළිතුරු ලබා ගන්නේ කෙසේද? අපගේ ගරු සභාපතිතුමා පළාත් පාලන අමාත්‍යංශයෙන් විමසා තිබුණද පැහැදිලි පිළිතුරක් ලැබී තිබුණේ නැත. (එක්කෝ ගරු සභාපතිතුමාට තේරුණේ නැතුවා ද විය හැකිය). මීට වසරකට පමණ පෙර ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනේ මෙවැනිම තොරතුරු තාක්‍ෂණ විසඳුමක් ගැන සාකච්චාවක් ඇසුවා මතකය. එම ව්‍යාපෘතිය ද අතරමග නතර වී ඇතිවා වගේය. කිසිම තොරතුරක් ඊට පසු දැන ගන්නට නොලැබුණි.

සාමාන්‍යයෙන් ලංකාවේ ව්‍යාපෘති වලට සිදු වන්නේ ඔය සැන්තෑසියමය. එක් කාලයක් (අපි එන්නට කලින්) තිරසර නගර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇත. ප්‍රතිඵලයක් නැත. පවිත්‍ර ගංගා නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇත. පිරිසිදු වූ ගඟක් නැත. ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිනම් අනන්තවත් ක්‍රියාත්මක විය. ඒවාට පිංසිද්ද වෙන්නට ලෝකයේ විශාලම කෘතිම කන්ද ඉදි කිරීමේ ගෞරවය ලංකාවට ලබා ගැනීමට හැකි විය. එය තවමත් කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සුරක්‍ෂිතව පවතී. පළාත් පාලන ප්‍රතිසංස්කරණ නමින් විශාල වැඩසටහනක් ක්‍රියාත්මක විය. ලන්කාවේ පළාත් පාලනය තවමත් සුද්දා පටන් ගත් තැනමය. මේ තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතියටද ඒ දේම සිදු වී ඇතිවා වැනිය.

තොරතුරු තාක්‍ෂණය හා පරිගණක ගැන මටත් පොඩි උනන්දුවක් හා දැනුමක් තිබෙන නිසා මේ ගැන උනන්දු වී, දොඩන්ගොඩ නැමති පරිගණක විශේෂඥයෙක් විසින් නිපදවා ඇති, පළාත් පාලන ආයතන රාශියක්ම මිලදී ගෙන තිබෙන වරිපනම් හා අනෙකුත් සියලුම ගනුදෙනු හා ගබඩාකරණය වැනි සංකීර්ණ කාර්යයන් පහසුවෙන් ස්වයංක්‍රීයකරණය කළ හැකි පරිගණක වැඩසටහනක් පිළිබඳ මූලික සාකච්ඡා සිදු කළද ඉහත නියෝගය නිසා එය සිදු කිරීමට නොහැකි විය.

කවදා මේ ගල් යුගයෙන් මිදෙන්නට හැකි වේද?


1 comment:

  1. විශ්ව විද්‍යාල, පාසල් සහ ලාභ නොලබන ආයතන වලට නොමිලේ සමාගමේ මෘදුකාංග නොමිලේ ලබාදෙන වැඩපිළිවෙලක් තිබේ. නමුත් නිර්වචන අනුව පළාත්පාලන ආයතනයක් ලාභ නොලබන ආයතනයක්දැයි නොදනිමි. ආයතනයේ ශාඛාවෙන් විමසා බලන්න.

    තව කළ හැකි කපටි වැඩක්නම් පාසලක් සමග ගිවිසුමක් ගසා පාසලට ලැබෙන මෘදුකාංග ඔබේ ආයතනයට ලබා ගැනීමයි.

    Cheers !!!

    ReplyDelete