Saturday 3 October 2009

ලයිට් දාගෙන ගජරාමෙට වැඩ..!

වීථි ආලෝක කිරීම පළාත් පාලන ආයතනයක් සතු වග කීමකි. වීථි ආලෝක කිරීම යනු පාර දිගේ විදුලි පහන් සවි කර ඒවා දැල්වීමය. වීථි ආලෝක කිරීමට හැරෙන්නට,
  • මාර්ග ඉදිකිරීම, 
  • මාර්ග නඩත්තු කිරීම, 
  • මාර්ග දෙපස කානු ඉදි කිරීම හා ඒවා පිරිසිදු කිරීම, 
  • කසල ඉවත් කිරීම, 
  • එළිමහන් ප්‍රදේශ පවත්වාගෙන යාම, 
  • ළමා උයන්, ක්‍රීඩා භූමි ආදිය පවත්වාගෙන යාම, 
  • සුසාන භූමි හා ආදාහනාගාර පවත්වාගෙන යාම, 
  • ප්‍රදේශයේ ඉදිකිරීම් ඇතුලු භෞතික සංවර්ධනය විධිමත් කිරීම, 
  • මහජන සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම, 
  • වැසිකිළි පහසුකම් ලබා දීම, 
  • කසළ ශෝධනය, 
  • වෙළඳ පොළ, 
  • තානායම්, 
  • නාන ස්ථාන, 
  • දුප්පත් ජනයා සඳහා නිවාස, 
ආදී අටානූවක් දේවල් පළාත් පාලන ආයතන විසින් සිදු කළ යුතුව ඇත. එහෙත් අපේ සහෝදර මන්ත්‍රීතුමන්ලාට (මැම්බර් කියනවාට බොහෝ දෙනා අකමැති නිසා මන්ත්‍රීතුමා කියමි.) වීථි පහන් සවි කිරීමට හා ඒවා අළුත්වැඩියා කිරීමට අමතරව වෙනත් වැඩක් නොමැත. එබැවින් එතුමන්ලා ඉදිරිපත් කරන යෝජනා බොහෝවිට වීථි පහන් සම්බන්ධව වේ. (දැන් දැන් තවත් ජනප්‍රිය වැඩක් අසු වී ඇත. ඒ සම්බන්ධව පසුව දිනක කථා කරමු.)

විදුලි පහනක් සවි කීරීම සඳහා අනෙක් සංවර්ධන හෝ සේවා කාර්යයක් සඳහා තරම් මුදලක් අවශ්‍ය නොවේ. එබැවින් තමන්ට වෙන් වන ප්‍රතිපාදනවලින් හෝ සභාව විසින් ඍජුවම වෙන් කරනු මුදල් වලින් අඩු මාර්ග ප්‍රමානයක් අලුත් වැඩිය කරනවාට වඩා වැඩි විදුලි පහන් ප්‍රමාණයක් සවි කිරීම වැඩි මනාප ප්‍රමාණයක් හිමි වීමට හේතුවන බවයි එතුමන්ලාගේ අදහස.

එබැවින් පාරක් පාරක් ගානේ, කණුවක් කණුවක් ගානේ ලයිට් එල්ලීමත්, ඒවා නිරන්තරයෙන් අලුත්වැඩියා කරමින් පවත්වාගෙන යාමත් තමන්ගේ ප්‍රමුඛ කාර්යය වශයෙන් සලකාගෙන කටයුතු කරති. ඒ සඳහා ජාතියක් ලෙස අප රටට දරන්නට සිදුවී ඇති අති විශාල වියදම ගැන සිතා බැලීමට තරම් එතුමන්ලාට උවමනාවක් නොමැත.

මෙම ධූරයට පත් වූ දා සිට මේ දක්වා එකම වීථි පහනක්වත් මා සවි කරවාගෙන නොමැත. මාගේ ගම් ප්‍රදේශයේ සෑම මාවතකම කණුවක් කණුවක් ගානේ තිබූ වීථි පහන් වලින් එක්ක හැර එකක් ක්‍රමානුකූලව ඉවත් කරවූයෙමි. උදෑසන 6 පසුවන තුරු දැල් වෙන පහන් අක්‍රිය වූ විට අලුත්වැඩියා නොකිරීමට වග බලා ගතිමි. තම නිවස අසල වීථි පහනක් සවිකර දෙන ලෙස ඉල්ලා සිටි සියලුම දෙනාට “වීථි පහන සවි කරන තුරු පාවිච්චි කිරීමට“ විදුලි පන්දම බැගින් මාගේ පුද්ගලික වියදමින් ලබා දුන්නෙමි.

ඊළඟ ඡන්දයේදී වැඩි මනාප ප්‍රමානයක් ලබා ගන්නේ (ඊළඟ ඡන්දයේදී මනාප  නැතිව යන බවට ආරංචියි. ඒ ගැන සොයා බලා ලියන්නම්) ලයිට් දාගෙන ගජරාමෙට වැඩ කරන අයද නැත්නම් ලයිට් නැතිව වැඩ කරනා මම කියා බලමු. මොනවද ඔට්ටු....?

No comments:

Post a Comment